තෝසේ කන්න හූනු පරිප්පු හොදි..!

සමන්තුර නගරයේ ප්‍රසිද්ධ හෝටලයකින් තෝසේ කෑමට පැමිණි අයකුට තෝසේ සමඟ ලබාදුන් පරිප්පු බඳුනේ හූනකු හමුවීම නිසා එම පුද්ගලයා දින දෙකක් සමන්තුර රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට අධිකරණයට දැනුම්දීමෙන් පසුව එම ආහාර සාම්පල් රජයේ රසපරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට සහ එම වාර්තාව ලැබෙන තුරු ඉදිරි මාසයක කාලයක් හෝටලය මුද්‍රා තැබීමට සමන්තුර මහෙස්ත්‍රාත් එම්.එච්.එම්. පසිල් මහතා නියෝග කර ඇත.
 
පසුගිය මස 29 දින නිකුත් කළ එම නියෝගය මත එම හෝටලයට දිනපතා ආප්ප, ඉඳිආප්ප, වඩේ වැනි ආහාර සැපයුම් කළ පවුල් 16ක් අසීරුතාවට පත්ව සිටින බැවින් ඒ ගැන සානුකම්පිතව සලකාබලා රසපරීක්ෂක වාර්තාව ලැබෙන තුරු නැවත හෝටලය පවත්වාගෙන යෑමට එම හෝටල් හිමිකරු තම නීතිඥවරයා මඟින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව එම පවුල් පත්ව සිටින ජීවන දරිද්‍රතාව පිළිබඳව සානුකම්පිතව සලකාබැලූ අධිකරණය රජයේ රස
පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබෙන තුරු නැවත හෝටලය පවත්වාගෙන යෑමට හා එය මහජන සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙසත් නියම කර තිබේ.