දියවැඩියාව, ගැස්ට්‍රයිටිස් , මූත්‍රා ගල් සුව කරන සීනි කැකිරි


දුප්පත් ගැමියාගේ ආහාර වේල රස කර ගැනීමට කැකිරි ව්‍යංජනය බෙහෙවින් උපකාරී විය. ශ්‍රී ලංකාවේ කැකිරි වර්ග බෙහෝමයක් දක්නට ඇතත් හේන් කැකිරිවලට හා සීනි කැකිරිවලට ප්‍රධාන තැනක් හිමි විය. කැකිරිවල ගුණ දන්නෝ ඒවා දුප්පත් කෑමක් ලෙස නොසලකති. 

පිටිකිරි වර්ගවලට වඩා ශරීරයට අවැසි බොහෝ ‍පෝෂ්‍ය සංඝටකයන් ලබාගත හැකි එළවළුවක් හෝ පලතුරක් ලෙස කැකිරි කැපී පෙනේ. කැකිරි වර්ග ආහාරයට ගැනීම සම්බන්ධයෙන් වර්තමාන සමාජය එතරම් දැනුම්වත් වී නැත. කැකිරි බඳු සාම්ප්‍රදායික ආහාර වර්ග අප අතරින් දිනෙන් දින ඈත් වෙමින් තිබෙන්නේ එහෙයිනි. අපට වැලඳෙන බොහෝ රෝග සමනය කර දීමට කැකිරිවලට ඇත්තේ සුවිශේෂ හැකියාවකි. නිතරම කතාබහට ලක් කෙරෙන රෝග සඳහා ඖෂධ වෙනුවට ආහාර යන තේමාව යටතේ කැකිරිවලට සුවිශේෂ ස්ථානයක් හිමි වේ.

කැකිරි වියළි කලාපයේ මෙන්ම අතරමැදි හා තෙත් කලාපයේ ද පහසුවෙන් වැවිය හැකි භෝගයකි. නමුත් සීනි කැකිරි හෙවත් පිටි කැකිරි අපට හමුවන්නේ වියළි කලාපයේදීය. සීනි කැකිරි එළවළුවක් ලෙස ගැනුණේ කලාතුරකිනි. බොහෝ අය පුරුදුව සිටින්නේ එය පලතුරක් ලෙස ආහාරයට ගැනීමටයි. එදා හේන් ගොවිතැන් කළ ගොවියා තම හේනේ සීනි කැකිරි වැලක්, කැකිරි වැලක් වවා ගැනීමට අමතක නොකළේය. හේනේ කුඹුරේ වැඩ කළ ගොවියාට විඩාව පිපාසය නිවා ගැනීමට සීනි කැකිරි දිව බොජුනක් විය. අධික අව් රශ්මියට ගොදුරු වුණු ඔහුගේ ශරීරය සිසිල් කර ගැනීමට සීනි කැකිරි මහත් පිටිවහලක් විය.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් බෝවන හා බෝ නොවන රෝගවලට නිරන්තරයෙන් ගොදුරු වෙති. ඒ අතර දියවැඩියාව, අම්ල පිත්තය, ශරීර දාහය, නින්ද නොමැතිවීම, මානසික ආතතිය, මූත්‍රා ගල් (අශ්මරි) හෝ මූත්‍රාශය ආශ්‍රිත රෝග, වකුගඩු ආශ්‍රිත රෝග බහුලව දැකිය හැකි වේ. ඉහත නම් කරන ලද බොහෝ රෝගයන්ට සීනි කැකිරි වැනි ආහාර ඉතා ප්‍රයෝජනවත්ය. මෙම බොහෝමයක් රෝග අපට වැලඳෙනුයේ අපගේ එදිනෙදා චර්යා රටාවෙන් හා අප ගන්නා ආහාරවල ඇති අසමතුලිත භාවය හේතුවෙනි. අප ගන්නා ජලයෙහි ඛනිජ ලවණ ආදී සංඝටකයන් වැඩිනම් බොහෝ විට වකුගඩු අක්‍රියවීම, මූත්‍රා ගල් සෑදීම ආදී රෝග ව්‍යාධීන් පහල වීමට බොහෝ ඉඩකඩ වැඩිය. වියළි කලාපයේ ජලය කිවුල් ස්වභාවයෙන් යුක්තය. එහි කඨින භාවය වැඩි වන විට මූත්‍රා පෙරීම ද අපහසු වේ. එනිසාම බොහෝ විට අශ්මරි හෙවත් ගල් සෑදේ. මේ තත්ත්වය වළක්වාලීමට දෝ ස්වභාව ධර්මයා විසින් වියළි කලාපයේ කැකිරි වර්ග ඉතා හොඳින් වවනු ලැබේ. නමුත් වර්තමානයේ ගොවියා කැකිරි කොළඹට පටවා ඇපල් කෑමටත් කිරිපිටි බොන්නටත් පුරුදුව සිටියි. මෙහි කැකිරි වැවෙන්නේ ඒවා මෙහි වෙසෙන මිනිසාගේ ශරීරයට අවැසි නිසා බව මිනිසාට නොවැටහීම කනගාටුවට කරුණකි.

සීනි කැකිරි කන්නේ කීයෙන් කී දෙනෙක් ද? ඇත්තටම සීනි කැකිරි ගුණ කාහට ද? ඒවා කන්නේ කෙසේ ද? යනාදිය ගැන අද සමාජය දැනුවත් නැත. සීනි කැකිරි හෙවත් පිටි කැකිරි විශේෂයෙන් වැදගත් වන්නේ ඒවා අඹ, කෙසෙල් ආදිය මෙන් අමුවෙන් කඩා විවිධ රසායනිකයන් දමා ඉදවීමට නොහැකි නිසාය. සීනි කැකිරි හේනේම එසේත් නැත්නම් ගොවිබිමේම හොඳින් පැසී ඉදෙයි. එසේ නොමැතිව අමුවෙන් ගොවි‍පොළෙන් නෙළාගතහොත් ආහාරයට ගත හැකි පරිදි ඉදෙන්නේ නැත. සීනි කැකිරි ඉදී පිට ‍පොත්තේ ඉරි තැළී එහි අභ්‍යන්තරය කිරි සුදට පෙනෙන විට ආහාරයට ගත හැකිය.

අම්ල පිත්ත රෝගීන්ට සීනි කැකිරි දිව ඔසුවකි. එය උදරයේ දැවිල්ල නැතිකර සිසිල් කරයි. අම්ල පිත්තයේ දී උදරයේ ඇතිවන ආම්ලිකතාව හා පිත් ස්වභාවය අවම කිරීමට සීනි කැකිරිවලට හැකියාවක් ඇත. විශේෂයෙන් පිත්තාශයේ ඇතිවන ගල් හා විවිධ සංකුලතා නැති කිරීමට සීනි කැකිරිවලට හැකියාව ඇත.

සීනි කැකිරි වෙනත් කිසිදු ආදේශකයකින් තොරව ආහාරයට ගත හැකිය. නමුත් අපේ පැරණි ගැමියන් පිත්තාශය ආශ්‍රිත රෝගවල දී සීනි කැකිරි ආහාරයට ගත්තේ කිතුල් හකුරු සමගය. ශරීරයේ පිත අධික වීම නිසා බොහෝ අයට නින්ද නොයයි. සීනි කැකිරි ඊට ද ඔසුවකි.

සීනි කැකිරිවල ඇති තවත් සුවිශේෂ ගුණයක් වනුයේ මූත්‍රා ගල් දියකිරීමේ හැකියාවයි. එහි මූත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝගවල දී බෙහෙවින් ප්‍රයෝජනවත් පලතුරක් වේ. තවද මූත්‍රා අඩස්සිය, මූත්‍රා ආසාදන, මූත්‍රාශය ආශ්‍රිත විවිධ සංකූලතා, වකුගඩු දුර්වලතා මගහරවා ගැනීමට සීනි කැකිරි ආහාරයට ගැනීමෙන් පුළුවන් වේ. බොහෝ උෂ්ණාධික ආහාර ගැනීමෙන් ඇතිවන ශරීර දාහය මෙන්ම මූත්‍රා දැවිල්ල ද සමනය කිරීමට සීනි කැකිරිවලට හැකියාවක් ඇත. විශේෂයෙන් වකුගඩු දුර්වලතා ඇති අය එම තත්ත්වය මුලින් හඳුනා ගතහොත් සීනි කැකිරි ආහාරයට ගැනීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වේ.

වර්තමානය වන විට අපේ ජීවිත බොහෝ සෙයින් කාර්යබහුලය. මේ නිසාම අපි කායිකව මෙන්ම මානසිකව විඩාවට පත්වෙමු. අධික අව් රශ්මිය මෙන්ම කොන්ක්‍රීට් සංවර්ධනයේ රශ්මිය ද අපට දරාගත නොහැකිය. මේ සියල්ලටමත් වඩා අධ්‍යාපන කටයුතු කරන අතරතුරේ දී හෝ රැකියා කටයුතුවල දී ඇතිවන මානසික පීඩනය අවම කිරීමට සීනි කැකිරිවලට සුවිශේෂ හැකියාවක් ඇත. එය මානසික ආතතිය දුරුකර ගැනීමට මහඟු ආහාරයක් මෙන්ම ඖෂධයක් ද වේ. විවිධ මනෝ විකාරයන් හේතුවෙන් රාත්‍රී නින්ද නොමැති අයට නින්ද ලබාගැනීමට මහත් ප්‍රතිඵලදායී වේ. සුවදායී නින්දක් නොමැති අයට ඒ සුවදායී නින්ද ළඟාකර දෙයි.

මධුමේහ රෝගීන්ට බොහෝ පලතුරු වර්ග අකැපය. නමුත් සීනි කැකිරි අයහපත් නොවේ. සීනි කැකිරි මධුමේහ රෝගීන්ගේ වකුගඩු දුර්වලවීමේ අවදානම ද අඩු කරයි.

සීනි කැකිරි ජල පදාර්ථ බහුල ආහාරයකි. එනිසා පිපාසය සංසිඳවයි. විශේෂයෙන් ශරීරයේ විජලන තත්ත්වයන් සංසිඳවයි. අතීසාර වැනි රෝග අවස්ථාවල දී පවා කෑමට ගත හැකි පලතුරකි. සීනි කැකිරි බොහෝ විට පලතුරක් හැටියට ගැනුණ ද එය අමුවෙන් ව්‍යංජනයක් ලෙස ද සකසා ගත හැකිය. කැකිරිවල ඇති බොහෝ විටමින් ඛනිජ ලවණ ශරීරයට අවශ්‍ය ‍පෝෂ්‍ය සංඝටකයන් ලබා දෙයි.

සීනි කැකිරිවලට අමතරව හේන් කැකිරි ද ඒ හා සමාන ඉතාමත් ගුණදායක ආහාරයක් වේ. පැරණි ගැමියා කැකිරි ව්‍යංජනය කළු ‍පොල් දමා උයාගැනීමට පුරුදුව සිටියේය. එය රසවත් එළවළුවක් මෙන්ම ශරීරයේ ‍ලේ පිරිසිදු කරන මූත්‍රා දෝෂ පහකරන ආහාරයක් ද වේ. එදිනෙදා අප ගන්නා ආහාරවලින් උෂ්ණාධික ආහාරවල හෝ වෙනත් ආහාරවල විෂ සංඝටකයන් ඉවත් කර ගැනීමට කැකිරි ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් මූත්‍රා ගල් ඇති අයට මෙන්ම වකුගඩු දුර්වලතා ඇති අයට ද ඒවා සුව අතට පත්කර ගැනීමට උපයෝගි කර ගත හැකිවේ.

‍පොල්කිරි වෙනුවට කැකිරි ඇට කිරි යොදා ගැනීම එදා ගැමියාගේ සිරිත විය. හේන් පැ‍ලේ දී ‍පොල් සොයා ගත නොහැකි විට ඒ වෙනුවට යොදා ගත්තේ කැකිරි ඇට කිරිය. එනම් කැකිරි පිසීමේ දී ඉවත් කරන කැකිරි ඇට දුම් මැස්සේ වියළාගෙන පසුව එළවළු පිසීමේ දී ‍පොල්කිරි වෙනුවට ඇල්දියෙන් අඹරා දියකර භාවිතයට ගැනිණි. කැකිරි ඇටවලින් මූත්‍රා ආසාදන, මූත්‍රා ගල් මෙන්ම වකුගඩු දුර්වලවීම අවම වෙයි. අද ද කැකිරි ඇටවලින් සාදාගන්නා කිරි භාවිත කර ව්‍යංජන සකසා ගැනීමෙන් මූත්‍රාගල්වලින් වැළකී සිටිය හැකිය. මන්ද යත් මූත්‍රා ගල්, මූත්‍රා ශර්කරා ආදී රෝගවලින් ඇතිකරන පීඩාව අති මහත්ය.

ආහාරය පිණිස ගත යුත්තේ තදින් නොමේරූ කැකිරිය. හොඳින් පැසුණු ඒවා ප්‍රමාණවත්ය. ඇල් දියට, මිරිසට මෙන්ම කිරට ද රසවත් ලෙස සකසා ගත් කැකිරි ව්‍යංජනය ආහාර රුචිය ද ඇති කරයි. කැකිරි වැනි ‍පෝෂ්‍ය ගුණයෙන් අනූන බොහෝ ලෙඩ රෝගවලට හිතකර එළවළු ආහාරයට ගැනීමෙන් චිර ජීවනයට මං පෑදෙන්නේය. විශේෂයෙන් සීනි කැකිරි වැනි දේශීය පලතුරු වර්ග දරුවන්ට දීමට පුරුදු වන්න. එය රසවත් පලතුරක් මෙන්ම ඖෂධයක් ද වන නිසාය. කැකිරි ගෙඩියේ ලෙල්ල ඉවත්කර කුඩා කැබලි වශයෙන් ලබා දිය හැකිය. පායන කාලයේ දී ශීත කළ පැණි බිම වෙනුවට සීනි කැකිරි ආහාරයට ගැනීම වඩා යහපත්ය.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය