අධිචෝදනා 6ක් යටතේ ගම්මන්පිලට නඩු 2ක්

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කළ බවට සහ රුපියල් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (30) නඩු දෙකක් වෙන් වෙන්ව පැවරීය.

අධිචෝදනා 6ක් යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව පවරා ඇති නඩු දෙකේ රුපියල් මිලියන 21ක් සම්බන්ධව සාපරාධී විශ්වාස කඩකිරීම, ඊට අනුබල දීම ඇතුළු අධි චෝදනා හතරක් යටතේ පවරා ඇති නඩුවේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ නොහොත් සිඩ්නි ජයසිංහ යන අය ද විත්තිකරුවකු ලෙස නම් කර ඇත.

වසර 2000 ජුලි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කොට ඩිජිටල් හොමිනිස් පෞද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ ව්‍යාපාර කොටස් ධම්මික පෙරේරා නැමැත්තෙකුට විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කිරීම ඇතුළු අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව පමණක් එක් නඩුවක් පවරා ඇත.

දණ්ඩනීති සංග්‍රහයේ 386 හා 456 වගන්ති යටතේ පවරා ඇති එම නඩුව ඔප්පු කිරීම සඳහා ලේඛන 14ක් හා සාක්කිකරුවන් 20ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා ඇත.

ඩිජිටල් හොවිනිස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ බ්‍රයන් රෝස් හැසික් හා ජැනට් එලිසබත් හැසික් අස්සන් නොකළ ව්‍යාජ ලේඛනයක් ‍බව හා ඒ බවට විශ්වාස කිරීමට හේතු තිබියදී ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සැබෑ ලේඛනයක් ලෙස ධම්මික පෙරේරා යන අයට ඉදිරිපත් කළ බවට ද නීතිපතිවරයා එම නඩුවෙන් උදය ගම්මන්පිල මහතාට එරෙහිව චෝදනා නගා ඇත.

1996 සැප්තැම්බර් 26 හා 1997 සැප්තැම්බර් 23 අතර කාලයේදී රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඒ සඳහා අනුබල දීම හා එම මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 113, 102, 389 හා 459 යන වගන්ති යටතේ අධි චෝදනා හතරක් මත විත්තිකරුවන් දෙදෙනාටම එරෙහිව නීතිපතිවරයා ‍චෝදනා නඟා ඇත. එම චෝදනා ඔප්පු කිරීම සඳහා ලේඛන 13ක් හා සාක්කිකරුවන් 21ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දුන්නේය.