වාහනවල අයිතිය පවරා ගන්න සහන කාලයක්

වසර ගණනක් පුරා අයිතිය පවරා නොගෙන වාහන පාවිච්චි කරන්නන්ට ඒවා තම නමට පවරා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක සහන කාලයක් ලබා දී තිබේ.

ලබා දී ඇති සහන කාලය තුළ දී මෙතෙක් අයිතිය පවරා නොගැනීම නිසා දිනකට රුපියල් සියය බැගින් අය කරන දඩ මුදල අය නොකිරීම විශේෂත්වයකි.

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් එම දිනකට රුපියල් සියය බැගින් වූ දඩ මුදල අය නොකර සිටීමට අභ්‍යන්තර චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

ඇතැම් වාහන හිමිකරුවන් තුන් හතර දෙනා අතට පත්වූවත් අයිතිය පවරා ගෙන නොමැත.

තවත් වාහන අවුරුදු 8 - 10 කාලය පුරා අයිතිය පවරාගෙන නොමැත. එවැනි පුද්ගලයන්ට ඇතැම් විට වාහනයේ වටිනාකමටත් වඩා දඩය ගෙවීමට සිදු වී තිබේ. මේ නිසාම බොහෝ වාහන පවරා ගැනීම් නොකර සිටිති. එසේ අයිතිය පවරා නොගත් වාහන හිමියන් රජය ලබා දී ඇති මේ සහන කාලයේදී සිය වාහන අයිතිය පවරා ගැනීම තුළින් එම දඩයෙන් මුදා හැරෙනු ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද අංක අමා/16/1289/709/60 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2016/07/21 දින ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව වාහන අයිතිය මාරුවී ඇති නමුත් පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කර නොමැති වාහන සඳහා පැවරීම ලියාපදිංචිය සඳහා මාස තුනක සහන කාලයක් ලබාදීම, එම සහන කාලය තුළදී පැවරීම ලියාපදිංචි කිරීම සඳහා සාමාන්‍ය පැවරීමකදී අය කරන ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් අය කිරීම සහ දැනට ප්‍රකාශනයට පත්කර ඇති ප්‍රමාද ගාස්තු නියෝග සංශෝධනය කර ඒ ඒ වාහන පන්ති අනුව ප්‍රමාද ගාස්තුව උපරිම සීමාවකට යටත්ව නියම කිරීම යන කරුණු සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරන පරිදි පැවරීම කර නැති වාහනවල පැවරීම කිරීම සඳහා ලබාදී ඇති මාස තුනක සහන කාලය අද (01) සිට ලබන නොවැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වෙයි.