ජොන්ස්ටන්ට එරෙහිවත් විනය ක්‍රියාමාර්ග

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විනය පියවර ගැනීමට පෙරේදා (30) රාත්‍රී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහගමසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පෙරේදා රාත්‍රි මෙම හමුව පැවැත්විණි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට අදාළ තීන්දු තීරණ ගැනීම සඳහා අදාළ හමුව කැඳවා තිබිණි.

මාත‍ලේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට යාම ගැන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව සිහිපත් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විනය පියවර ගත යුතු බව හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා මධ්‍යම කාරක සභාවට යෝජනා කර තිබිණි.

ඒ සඳහා කිසිදු විරෝධයක් එල්ල වී නැති අතර මෙම තීරණය ගන්නා අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද මධ්‍යම කාරක සභාවට එක්ව සිටීම විශේෂත්වයකි.

අදාළ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගැනීමට දුරකථන ඔස්සේ කළ උත්සාහය ව්‍යර්ථ විය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සමග ගැටුම් ඇති කර නොගෙන පක්ෂ සම්මේලනය සාර්ථක කර ගැනීම සඳහා කැපවෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

එම මන්ත්‍රීවරුන් සමග වාදවලට යෑමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

එහිදී මධ්‍යම කාරක සභිකයින් කිහිප දෙනකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මේ අතර ශ්‍රීලනිප සම්මේලනය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු වී තිබේ