තොණ්ඩමාන් දිඹුල පොලිසියට පැන යකා නටලා

හැටන් කොටගල නගරයේ ප්‍රධාන හින්දු කෝවිලක ප්‍රධාන පූජකවරයකුට එරෙහිව දිඹුල පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණෙන ලෙස දිඹුල පොලිසිය මඟින් එම පූජකවරයාට අවස්ථා දෙකකදී දැනුම් දීම සම්බන්ධයෙන් උරණ වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොණ්ඩමාන් මහතා එම පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හා ආධාරකරුවන් කිහිපදෙනකු සමඟ පෙරේදා (20දා) පස්වරුවේ දිඹුල පොලිසියට ගොස් එහි නිලධාරීන්ට දෝෂාරෝපණය කර තිබේ.

තොණ්ඩමාන් මහතා දිඹුල පොලිසියේ ප්‍රධාන ගේට්ටුව වෙත ගොස් පළාත් සභා මන්ත්‍රිවරුන් පොලිස් ස්ථානය වෙත යවා පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. දිඹුල පොලිසියේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සාකච්ඡාවකට සහභාගි වී සිටි නිසා පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත තලවාකැලේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු වහාම දිඹුල පොලිසිය වෙත යොමු කර තිබේ.

ඉකුත් 8 වැනිදා දමිළ ප්‍රගතිශීලී සන්ධානය විසින් කොටගල නගරයේ කෝවිල අසල සවිකර තිබූ විශාල පක්ෂ ප්‍රවර්ධන පුවරුවක් කපා විනාශ කිරීම සම්බන්ධයෙන් එම හින්දු කෝවිලේ පූජකවරයාට එරෙහිවද පැමිණිල්ලක් දිඹුල පොලිසිය වෙත ලැබී තිබිණි.

තොණ්ඩමාන් මහතා පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඕනෑම ජාතියක පූජකවරයකුට එරෙහිව පැමිණිල්ලක් ලද විගස එය විභාග කිරීම සඳහා එම පූජකවරුන්ට පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලීම සදාචාර නොවන බවයි.

රටේ අගමැතිවරයාට එරෙහිව හෝ ප්‍රභූවරයකුට එරෙහිව පැමිණිල්ලක්ද ලද හොත් ඔවුන් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගන්නේද යන්න තොණ්ඩමාන් මහතා පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත. සිදුවූ වරද සම්බන්ධයෙන් තොණ්ඩමාන් මහතාගෙන් සමාව ලබාගත් දිඹුල පොලිසියේ නිලධාරීන් එම පූජකවරයා වෙතට ගොස් පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තොණ්ඩමාන් මහතා එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත. එම පූජකවරයා විසින් තමන්ව පොලිසිය වෙත කැඳවා ඇති බව තොණ්ඩමාන් මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුවයි තොණ්ඩමාන් මහතා දිඹුල පොලිසිය වෙත ගොස් ඇත්තේ.