බදු ආදායම 23%කින් ඉහළට

බදු ආදායම් එක්රැස් කිරීමේ රජයේ කාර්යක්ෂම වැඩපිළිවෙළ සාර්ථක වී ඇතැයිද, එතුළින් වසර 2015 මුල් මාස හතට වඩා මේ වසරේ මුල් මාස හතේ රජයේ ආදායම සියයට 23 කින් ඉහළ ගොස් ඇතැයිද මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. වසර 2015 මුල් මාස හතට වඩා, මේ වසරේ මුල් මාස හතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයිද මුදල් ඇමැතිවරයා කීය.

වසර 2015 මුල් මාස හතේදී රුපියල් මිලියන හයලක්ෂ විසිපන් දහස් අටසීයය හැටහතක් (6,25,867) වූ රජයේ ආදායම, මේ වසරේ එම කාලය ඇතුළත රුපියල් මිලියන හත්ලක්ෂ හැටනව දහස් හත්සිය පනස්දෙක (769752) දක්වා රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස්තුන්දහස් අටසිය අසූපහකින් (143885) වැඩිවී තිබේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසර 2015 මුල් මාස හතේ රුපියල් මිලියන 376994ක ආදායමක් ලැබීය. එය මේ වසරේ මුල් මාස හතේ රු.මිලියන 457616 ක් ලෙස සියයට 21.5 කින් වැඩිකරගෙන තිබේ.

පසුගිය 2015 වසරේ මුල් මාස හත තුළ රුපියල් මිලියන 191596 ක ආදායමක් වාර්තා කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ එම කාලසීමාව තුළ රුපියල් මිලියන 242811 වාර්තා කොට ඇත. එහි වර්ධනය සියයට 26කි.

සුරාබදු දෙපාර්තමේන්තුව වසර 2015 මුල්මාස හත තුළ රුපියල් මිලියන 57276ක ආදායමක් ලබා ඇත. එය 2016 දී රුපියල් මිලියන 69326 ක් දක්වා සියයට 21 කින් වැඩි කරගෙන ඇත.

රට තුළට භාණ්ඩ ගෙන්වීමේදී ඒ වෙනුවෙන් නිසිලෙස බදු මුදල් අයකර ගැනීම, නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීමට එරෙහිව විශේෂ මෙහෙයුම් සිදුකිරීම වැනි හේතූන් නිසා රජයේ ආදායම මේ අන්දමට ඉහළ ගිය බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වසර 2015ට වඩා වැඩි බදු ආදායමක් වසර 2016 දී නියත ලෙසම අයකර ගැනීමට හැකිවන බවත්, බදු අයකරන රජයේ දෙපාර්තමේන්තු තුනේම අපේක්ෂිත ආදායම් ඉලක්ක මේ වසරේ ජයගත හැකි වනු ඇති බවත් මුදල් ඇමැතිවරයා විශ්වාසය පළ ක‍ෙළ්ය.