අද මෛත්‍රීට කඩේ යනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයා‍ලේ යන්න දෙන්න බැහැ. අප පක්ෂ නායකත්වයට අවනත වෙන්න ඕන. මා එදා මහින්දට කඩේ ගියා. අද එදා වගේම මෛත්‍රීපාල මැතිතුමා වෙනුවෙන් කඩේ යනවා. ආසන සංවිධායක ධුර අහිමිවූ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා නැහැ. ඒ අයට පක්ෂය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

සැප්. හතරවන දින කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය සම්බන්ධව පාක්ෂිකයන් දැනුම්වත් කිරීම සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතාගේ නිවසේ 20දා පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් නිමල් සිරිපාල ද සිල්වා එසේ ප්‍රකාශ කළේය.

එම රැස්වීමට සහභාගි නොවන ලෙස මාධ්‍යවේදීන්ගෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය දැනුම්වත් කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉතිහාසය තුළ අපේ පක්ෂය බෙදුනු අවස්ථා තිබෙනවා. හැම පක්ෂයක් තුළම ප්‍රශ්න තිබෙනවා. බෙදිම් තිබෙනවා. ගැටලු විසඳාගෙන ඉදිරිගමන යන්න අප උත්සාහ දරනවා. මෙවර සම්මේලනය ඉතාම සාර්ථක ලෙස පවත්වන්නට ඕන. මහා සෙනඟක් සහභාගි කරවන්න ඕන. පක්ෂ නායකත්වය විසින් පවරපු වගකීම් අප ඉටුකළ යුතුයි යැයි කීවේය.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ අමාත්‍ය හා ශ්‍රී.ල.නි.ප. පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ද මේ ගැන අදහස් දැක්වූයේය.

මේ මොහොතේ තියෙන්නේ පක්ෂයේ තිබෙන ගැටලු නිරාකරණය කරන්න මෙවර සම්මේලනය සාර්ථක කරගැනීමට කටයුතු කිරීමයි. පක්ෂයට වෙලා තියෙන දේ දැක්කම පපුවට ලොකු වේදනාවක් දැනෙනවා. අපි අපේ මේ පක්ෂය රකින්න ඕන. විනාශ වෙන්න ඉඩදෙන්න බැහැ යැයි සෙනෙවිරත්න මහතා කීවේය.

සබරගමු පළාත් සභා අමාත්‍ය අතුල කුමාර මහතාද පළාත් සභා මන්ත්‍රී මහේෂ් ප්‍රභාත් අල්විස් මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක ජයවර්ධන, රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන් කිහිප දෙනෙක්ද ඊට එක්ව සිටියහ.