ලංකාවේ දෙවැනි අගනගරය බවට කඩුවෙල පත්වෙනවා

පසුගිය වසර 30 තුළ කොළඹ නගරයේ ජනගහණයේ වැඩිවීමක්‌ වූයේ නෑ. එහෙත් කඩුවෙල ප්‍රදේශයේ සීඝ්‍ර වැඩිවීමක්‌ දකිනවා. වෘත්තීයවේදීන් රාශියක්‌ මේ ප්‍රදේශයේ ජීවත් වන අතර රාජ්‍ය ආයතන රාශියක්‌ මෙම ප්‍රදේශයේ ස්‌ථාපිත කර තිබෙනවා. ඒ අනුව කොළඹට වඩා ශක්‌තිමත් නගරයක්‌ බවට කඩුවෙල පත්වෙන අතර ශ්‍රී ලංකාවේ දෙවැනි අගනගරය බවට තව සිව් වසරක්‌ තුළ මෙය පත් කරනවා.....යෑයි මහානගර බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ රුපියල් මිලියන 213 ක්‌ වැය කරමින් ස්‌ථාපිත කිරීමට නියමිත කඩුවෙල නව සතිපොළ සහ අතිරේක බස්‌නැවතුම්පළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙම යෝජිත සති පොළට හිටපු දේශපාලන අධිකාරිය මඟින් මුල්ගල තැබූ අතර එම භූමියේ පදිංචිකරුවන් විසින් සිදුකළ අධිකරණ කටයුත්තක්‌ නිසා පොළ ස්‌ථාපිත කිරීම අත්හිටුවා තිබුණා. කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ප්‍රමුඛ නගර සභාවේ මූලිකත්වයෙන් එම ගැටලුව නිරාකරණය කළා.

දැන් අධිවේගී මාර්ගය කඩුවෙල හරහා ගමන් කරනවා. කොළඹ නගරය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක්‌ කඩුවෙල ස්‌ථාපිත කරනවා. එහි පළමු පියවර කැලණි නව පාලමත් සමඟ ආරම්භ කරනවා. දැන් එහි දෙවැනි පියවරටත් ඉඩ හසර විවෘත වෙනවා. ඉදිරි වසර පහ, හය ඇතුළත ඒ කාර්යය අපි සඵල කරගන්නවා. මාලබේ - කඩුවෙල වාහන තදබදය අවම කිරීමට සැහැල්ලු දුම්රිය සේවයක්‌ මේ ප්‍රදේශය හරහා ඇති කරනවා. ඒ අනුව නියම දෙවැනි අගනගරය හැටියට වෘත්තීයවේදීන් රාශියක්‌ පදිංචි වී සිටින කඩුවෙල ප්‍රදේශය සහ මාලබේ බත්තරමුල්ල යන නගර දියුණු කරනවා.

ජනාධිපතිතුමාගේ කාර්යාලය අගමැති කාර්යාලය නිල නිවස ඇතුළු රාජ්‍ය ආයතන 113 ක්‌ පියවරෙන් පියවර මේ ප්‍රදේශයට ගෙන එනවා. ඒ අනුව නියම පරිපාලන නගරයක්‌ හැටියට බත්තරමුල්ල ජයවර්ධනපුර පත් කරනවා.

කඩුවෙල නගරය පසුගිය කාල වකවානුව තුළ ප්‍රසාරණය වීම සහ දියුණුව හේතුවෙන් පැරැණි කඩුවෙල පොළ වෙළෙඳ කුටි 248 කින් සමන්විතව තවදුරටත් එම ස්‌ථානයේ පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයට අද පත්වෙලා. මේ අවට ප්‍රදේශ කොරටු තුළ ඇති එළවළු ටික පලතුරු ටික වෙළෙ¹ම් කරනවා. මෙහි පාරිභෝගික පිරිසෙන් 90% ක්‌ම කඩුවෙල අවට පදිංචිකරුවන්. මේ මාර්ග පුළුල් වීම - අධිවේගී මාර්ගය දියුණුවත් සමඟ මෙහි ප්‍රධාන මාර්ගයන් පුළුල් වෙනවා.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා,

පසුගිය කාලයේ මහජනතාව විසින් සංවර්ධනය මොකද ප්‍රමාද ? කියා ප්‍රශ්න කළා. මේ රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය විනිවිද බව සියල්ල අපිට කතා කරන්න නොහැකි මට්‌ටමක තිබුණා. එදා අපිටත් ප්‍රශ්නයක්‌ තිබුණා. මේ සංවර්ධනය මන්දගාමී ඇයි කියා. පවුල්වලට දරුවන්ට සලකා බෙදාගෙන කන සංස්‌කෘතියක්‌ තිබුණා. අපි එය ඉවත් කරලා ටෙන්ඩර් පටිපාටි එනවිට අයවැයෙන් වෙන් කළ මුදල් මදි බවක්‌ දැනුනා. මේක පළමු වසරේ පමණයි. අපි කොමිස්‌, පගා ගැන සිතුවේ නෑ. රටට වෙන යහපත පිළිබඳ සිතා රට සංවර්ධනයට උරදෙනවා. තව වසර දෙක තුනකින් මෙරට සීඝ්‍ර සංවර්ධනයකට යනවා.

මෙම අවස්‌ථාවට හිටපු කඩුවෙල නගරාධිපති

ජී. එච්. බුද්ධදාස, පළාත් සභා මන්ත්‍රී මංජුල බුද්ධදාස, හිටපු කඩුවෙල විපක්‌ෂ නායක ප්‍රියන්ත පත්බේරිය, නාගරික මන්ත්‍රීන් වන ප්‍රේමරංජිත්, විචිත්‍ර විඡේතුංග යන මහත්වරු ඇතුළු දේශපාලන අධිකාරියද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ එහි සාමාන්‍යාධිකාරී සුමේධ රත්නායක යන මහත්වරු ඇතුළු නගර සභාවේ කොමසාරිස්‌ ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ.