ගැහැනු යට ඇඳුම් හොරකු අල්ලයි

නිවාස කොල්ලකමින් එම නිවෙස්වල ජීවත් වූ කාන්තාවන්ගේ යට ඇඳුම්ද සොරා ගන්නා විකෘති කාමාශාවන්ගෙන් පෙළුණු පුද්ගලයකු මුල්ලේරියාව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් මල්වාන ඇටම්පිටිය ප්‍රදේශයේදී පෙරේදා (02දා) අත්අඩංගුවට ගෙන ඇත.

පෙර වැරැදි කිහිපයකට බන්ධනාගාර ගතව සිට නැවැත නිදහස ලබා පැමිණ ඇති සැකකරු අතුරුගිරිය, මහරගම, නවගමුව යන ප්‍රදේශවල සිදුවූ නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයකු බවත් ඔහු විදුලි පරිපථ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබ ස්වයං රැකියාවක් ලෙස කලක් විදුලි උපකරණ නඩත්තු ආයතනයක් පවත්වාගෙන යමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.

දිනපතා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී තිබෙන සැකකරු තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට නිවාස කොල්ලකෑමේ නිරත වී තිබේ. නිවෙස්වල ඇති ඉතා වටිනා විදුලි උපකරණ පමණක් කොල්ලකා තිබෙන මොහු ඒ සමඟම එම නිවෙසේ ජීවත්වන කාන්තාවන්ගේ යට ඇඳුම්ද සොරා ගැනීමේ විකෘති ආශාවකින් පෙළී සිටි අයකු බවට මේ වන විට හඳුනාගෙන තිබෙන බවද පොලිසිය පැවැසීය.

කොළඹට තදාසන්න ප්‍රදේශ රැසක නිවෙස්වලින් සොරාගත් ලක්ෂ 10ක් පමණ වටිනාකමින් යුත් විදුලි උපකරණ අස්ථාන ගතවූ හැඳුනුම්පත් මාර්ගයෙන් විවිධ පුද්ගලයන් හට උකස් කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.