සිංහල මුස්ලිම් ජනයා උතුරේ පදිංචි කරන්න එපා

උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට එම පළාතේ ජනතාව අකැමැති බැව් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

උතුරු පළාතේ සංචාරයකට එක්වූ කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා එලෙස පැවැසීය.

උතුරු පළාත් සභාව, දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාතේ දෙමළ ජනතාව එලෙස විරෝධතාව දක්වන්නේ සිංහල ජනතාව හෝ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයකින් නොවන බවද මහ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රජය උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කිරීම තුළින් අනවශ්‍ය ගැටලු රැසක් පැන නඟින බැවින් උතුරු පළාත් සභාව, දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාතේ දෙමළ ජනතාව අකැමැති බවද ඔහු කියයි.
උතුරු පළාත් සභාව හා දෙමළ ජාතික සන්ධානය උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටින්නේ රට දෙකඩ කිරීමට නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බවද විග්නේශ්වරන් මහතා කැනඩා විදේශ අමාත්‍යවරයා වෙත එහිදී පැවැසුවේය.

උතුරු පළාතේ අවතැන් කඳවුරු නැවත පදිංචි කිරීම හා ඉඩම් ගැටලුව ගැනත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී විදේශ අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය.

උතුරු පළාතේ සංවර්ධන කටයුතු, කැනේඩියානු ආධාර යටතේ සිදු කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එහිදී සාකච්ඡා පැවැත්විය.
සාකච්ඡාවට එක්වූ කැනඩා විදේශ අමාත්‍යවරයා පැවැසුවේ උතුරු පළාතේ කාන්තා මූලික පවුල්වල ජීවන තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් කැනඩා රජය උපකාර කිරීමට කටයුතු කරන බවයි.

කැනේඩියානු රාජ්‍ය නියෝජිතයෝ පිරිසක්ද මේ සාකච්ඡාවට සහභාගි වී සිටියහ.