මරණය පමා කරන රහස් වට්ටෝරුව

ඔබේ ජීවන රටාවේ පුංචි වෙනස්කම් කිහිපයක් කළහොත් ඔබේ ආයු කාලය වසර ගණනාවකින් වැඩි කරගන්නට හැකි වන බව ඔබ දන්නවාද?

මෑතදී ඇමෙරිකාවේ කරන ලද වෛද්‍ය පර්යේෂණයකින් ඔබේ ආයු කාලය අඩු කිරීමට හේතු වන ප්‍රධාන කරුණු හතරක් හඳුනාගෙන තිබෙනවා. ඒවා නම්:

* දුම් පානය
* මධ්‍යසාර භාවිතය
* ව්‍යායාම නොකිරීම
* ප්‍රමාණවත් තරම් පලතුරු සහ එළවළු ආහාරයට නොගැනීම

වාසනාවට මේ අයහපත් පුරුදු මඟ හරවාගෙන පහත සඳහන් සරල උපදෙස් නවය පිළිපැද්දොත් ඔබේ ආයු කාලය දිගු කර ගැනීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත. එමෙන් ම කොතරම් වයස ගියත් ඔබේ තරුණ බව එලෙසින් ම රැක දෙනු ඇති.

පමණට වඩා කෑම ගන්න එපා.

ඔබට වසර සීයක් ජීවත් වෙන්නට වුවමනාද? එසේ නම් ඔබේ කෑම පිඟානේ ඇති ආහාරවලින් කොටසක් ඉතිරි කරන්න. ලෝකයේ පරමායුස ලබන්නන් පිළිබඳ කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ලොව වැඩිම ආයු කාලයක් ජීවත් වන ජපන් ජාතිකයන් හැම විටම ආහාර ගන්නේ තමාගේ කුස 80%ක් පිරෙන තුරු පමණක් බවයි.

ඇමෙරිකාවේ ශාන්ත ලුවී විශ්වවිද්‍යාලයෙහි කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ අඩුවෙන් ආහාර ගැනීම ඔබ වයසට යෑමේ වේගය අඩු කරන බවයි. ඔබ අඩුවෙන් ආහාර ගන්නා විට සිරුරට ලැබෙන්නේ අඩු කැලරි අගයක්. කැලරි අඩුවෙන් ලැබෙන විට සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියෙහි වේගය අඩු කිරීමට හේතු වන T3 තයිරොයිඩ් හෝමෝනය නිෂ්පාදනය අඩු කෙරෙනවා. එමඟින් වයසට යෑමේ වේගය ද අඩු කෙරෙනවා.

ක්‍රියාශීලී වන්න.

දුවන්න, ඇවිදින්න, නටන්න, පනින්න. එමෙන් ම විවාහක ඔබේ ලිංගික ක්‍රියාශීලී බවත් ආයු කාලය වර්ධනයට හේතු වන බව දන්නවද? සතියකට දෙතුන් වරක්වත් තෘප්තිමත් ලිංගික සබඳතා පැවැත්වීමෙන් ඔබේ ආයු කාලය වසර තුනකින් දිගු කර ගන්නට හැකි බව පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. සාර්ථක ලිංගික ක්‍රියාවලියක යෙදීමෙන් මිනිත්තු තිහක් දිවීමෙන් ලැබෙන ව්‍යායාමය සිරුරට ලැබෙනවා.

නිතර ලිංගිකව හැසිරීම ඔබේ රුධිර පීඩනය පාලනය කරනවා. සුවපත් නින්දක් ඔබට ලබා දෙනවා. ප්‍රතිශක්තිය වර්ධනය කරනවා මෙන් ම ඔබේ හදවත ද ආරක්ෂා කරනවා.

රූපවාහිනියෙන් ඈත් වන්න

වසර 2010 දී කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ දිනකට පැය 4කට වඩා රූපවාහිනී නරඹන පුද්ගලයන් පැය දෙකකට වඩා අඩු කාලයක් පුරා රූපවාහිනිය නරඹන්නන් මරණයට පත්වනවාට වඩා 46% ගුණයකින් ඉකිමනින් මරණය කරා ළඟා වන බවයි. රූපවාහිනිය නරඹන කාලය පැයකින් අඩු කළහොත් ඔබ මරණයට පත්වීමේ අවදානම 11%කින් අඩු වන අතර, හෘදය රෝගයකින් මරණයට පත්වීමට ඇති අවදානම 18%කින් පහත වැටේ.

හිරු රැසින් වළකින්න

පමණට වඩා හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබට සමෙහි පිළිකා වැලඳීමට ඇති ඉඩකඩ වැඩියි. සුදුහමක් සහිත ජනතාවට මේ අවදානම අධිකය. එමෙන් ම හම රැළි ගැසී මහලු පෙනුමක් ගෙන දෙයි.

රූසපුව ගැන සිතන ඔබ සැලකිලිමත් විය යුත්තේ මුහුණේ පෙනුම ගැන පමණක් නොවේ. මුළු සිරුරේ ම සම රැක ගන්නට වෛද්‍ය උපදෙස් මත හිරු ආවරණ ආලේපයක් ගැල්වීම වඩාත් ආරක්ෂාකාරී වේ. මුහුණ, ගෙල සහ පිටෙහි ඇති වන හිරුට දැවුණු කළු ලප හෝ පැල්ලම් ඔබට මහලු පෙනුමක් ගෙන දෙයි.

පලතුරු සහ එළවළු වැඩිපුර කන්න

දිනකට පලතුරු සහ එළවළු වර්ග තුනකට වඩා අඩුවෙන් කෑමෙන් ඔබේ ආයු කාලය අඩුවේ. පලතුරු සහ එළවළුවල අඩංගු කෙඳිවර්ග ප්‍රතිඔක්සිකාරක ඔබට හෘදයාබාධ ඇති වීමේ අවදානම 76%කින් අඩු කරයි. එමෙන් ම පියයුරු පිළිකා වැලැඳීමේ අවදානම ද අවම කරයි. ප්‍රතිඔක්සිකාරක බඩේ දැවිල්ලට එරෙහිව සටන් කරන අතර ම, රුධිර ගමනාගමනය වර්ධනය කරයි. මෙහි අමතර වාසියක් වන්නේ ඔබේ වියපත් වීම හඟවන රැළි වැටීමෙන් වැළැක්වීමයි.

දිනපතා ව්‍යායාමයේ යෙදෙන්න

යෞවනය සදා රැක ගැනීමට ඔබත් කැමැති ද? එසේ නම් දිනපතා අවම වශයෙන් විනාඩි 30ක් වත් ව්‍යායාම කරන්න. ඇවිදීම, පිහිනීම හා දිවීම ඔබට කළ හැකි හොඳ ම ව්‍යායාම වේ. දිනපතා දිවීමෙන් ඔබ් ආයු කාලය දින හතර බැගින් දිගු කර ගත හැකිය. දිවීමෙන් ඔබේ හදවතට, මොළයට, මනසට, රුධිර සංසරණ පද්ධතියට ලැබෙන උත්තේජනය මඟින් මේ අමතර වාසිය ඔබට ලැබේ. දිනකට විනාඩි 30ක කඩිනම් ඇවිදීම ඔබට හෘදය රෝග ඇතිවීමේ අවදානම දුරු කරයි.

මිතුරන් ඇසුර

මිතුරන් ඇසුර හා පවුලේ සුහදතාව ඔබ මරණයෙන් ඈත් කරන බව ඔබ දන්නවාද? තනිකම විසින් ඔබේ සිරුරෙහි දාහයක් ඇති කරයි. එය ඔබේ සිරුරෙහි කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමෙන් හා දුම් බීමෙන් ඇති කරන හානියට වැඩි හානියක් ඔබට ඇති කරයි. තනිකමෙන් අද වැඩිහිටි ජනගහනය වැඩි වශයෙන් පීඩා විඳියි. තනිකම විශාදයට හේතු වෙයි.

මධ්‍යසාර මඳ පමණට

මධ්‍යසාර ඉතා සුළු මට්ටමක් ගැනීම අහිතකර නැත. ගැහැනුන් දිනකට එක් බීම වඩියක් ගැනීම හා පිරිමින්ට බීම වඩි දෙකක් ගැනීම හදවතට අගුණ නොවන බව ඇමෙරිකා හෘදය රෝග විද්‍යාලය පළ කළ වාර්තාවක සටහන් වේ.

දුමට තිත!

එහෙත් දුම් පානය නම් එසේ නොවේ. ආයු කාලය වැඩි කර ගැනීමට ඇති සරලම සහ පහසුම ක්‍රමය දුම්බීම නවතා දැමීමයි. ඇමෙරිකාවේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ වයස අවුරුදු 35 දී දුම්පානය අත්හළ කතුන් සිය ආයු කාලය අමතර අවුරුදු 6 - 7 දක්වා දිගු කරගන්නට සමත් වන බවයි.

දුම්බීම නැවැත්වීමෙන් ඔබ පෙණහලු පිළිකා හදවත් රෝග ඇතුළු මාරාන්තික රෝග රැසකින් වළක්වාලයි. ඉතා අඩු වයසින් පෙණහලු පිළිකා, මුඛ පිළිකා ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වන්නෝ දුම් බොන්නෝය.

ඔබ කුමන වයසක පසු වුවත් කම් නැත. දුම් ‍බොනවා නම් එය නවත්වන්න. දවසකින් දෙකකින් නොව, වරස ගණනාවකින් ඔබේ ආයු කාලය දිගු වනු නිසැකය. දුම් බීම නවත්වන්න අද හොඳම දවසයි!