මහින්දානන්ද ඇතුළු 10ක් ඩීල් පිට මෛත‍්‍රී තුරුලට

හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා ඇතුළු තවත් මහින්දවාදී විපක්ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරු 8 දෙනකුට එල්ල වී ඇති කළු සල්ලි සුදු කිරීම මූල්‍ය අක‍්‍රමිකතා ආදිය හේතුවෙන් නීතියෙන් ගැලවීම උපක‍්‍රමයක් ලෙස ශ‍්‍රීලනිපයේ මෛතී‍්‍ර පාර්ශ්වය හා එක් වීම සූදානමක් ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා පසුගිය රාජපක්ෂ පාලනය පැවැති සමයේ දී අත්පත් කරගෙන තිබෙන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී එම වත්කම් අත්පත් කර ගත්තේ කෙසේදැයි හෙළි කිරීමට ඇමැතිවරයා තවමත් අසමත්ව සිටින බව දැන ගැනීමට ඇත. 

එම කාලය තුළ දී මිලදී ගත් ඉඩම් නිවාස ආදිය වෙනුවෙන් කෝටි ගණනෙන් මුදල් වැය කිරීම ඔහුගේ බැංකු ගිණුම්වල කෝටි ගණනෙ මුදල් පැවැතීම ආදිය ගැන විමර්ශනය කෙරී තිබේ. ඒ අතරම ක‍්‍රීඩා ඇමැතිවරයාව සිටිය දී කොන්ත‍්‍රාත් 42ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිය හිතවතුන් දෙදෙනකුට ලබා දීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද අවසන් කර ලිපි ගොනු නීතිපතිවරයාට ලබා දී ඇති නමුත් මේ දක්වා කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

මේ අතර පසුගිය දා ශ‍්‍රීලනිපයේ සංවිධායකවරු වෙනස් කිරීම සිදු කළ ද උග‍්‍ර මහින්දවාදියකු ලෙස පෙනී සිටි අලූ‍ත්ගමගේ මහතා ඇතුළු පිරිසකගේ එම ආසන සංවිධායක ධුරයන් වෙනස් නොකිරීමට ජනාධිපති ද වග බලා ගත්තේය. එය ජනධිපතිවරයා සමඟ තිබෙන දේශපාලන ඩීල් එකක් නිසා සිදු වන්නට ඇති බවට මේ වන විට දේශපාලන ක්ෂේත‍්‍රයේ කතාබහව තිබේ.

- ඩී. මංජුල කුමාර