පාතාලයේ පොඩි චානක වෙඩි කා මරු දකී

හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම්, මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල ලෝකයේ ප්‍රබලයකු බව කියන චාමික මධුරංග නොහොත් පොඩි චානක නමැත්තා ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ විසින් බොරලැස්‌ගමුව කටුවාවල ප්‍රදේශයේදී පෙරේදා (02 වැනිදා) රාත්‍රි වෙඩි තබා ඝාතනය කර ඇත.

පොඩි චානක නමැත්තා පිළියන්දල ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යතුරුපැදියකින් යමින් සිටියදී ඔහු පසපස මෝටර් රථයකින් පන්නාගෙන ආ සන්නද්ධ පිරිසක්‌ විසින් මඟ හරස්‌ කර ඔහු නවතා තිබේ.

එහිදී පොඩි චානක නමැත්තා යතුරු පැදිය අතහැර දිවගොස්‌ ඇති අතර ඔහු පසුපස පන්නාගෙන ගිය සන්නන්ධ පිරිස ඔහුට වෙඩි තබා පලාගොස්‌ ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්‌ව බරපතල තුවාල ලැබු පොඩි චානක රෝහල් ගත කිරීමෙන් පසු මියගොස්‌ තිබේ.

ඝාතනයට ලක්‌වූ පොඩි චානක නමැත්තාට එරෙහිව මිනිමැරුම් තුනක්‌ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි. ඉකුත් ජුලි මස 21 වැනිදා මන්නා මංජු නමැති පාතාල සාමාජිකයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද පොඩි චානක නමැත්තාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මෙම ඝාතනයෙන් පසු පොඩි චානක සැඟවී සිටි අතර ඔහු මරා දමන්නට ඇත්තේ මන්නා මංජු ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස විය හැකි බවද පොලිසිය පවසයි.

පොඩි චානක නමැත්තා මීට වසර කීපයකට පෙර හෙරොයින් කිලෝ එකහමාරක්‌ සමඟ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට කොට්‌ටාව ප්‍රදේශයේ කොටුවී තිබිණි.

වසර කීපයක්‌ තිස්‌සේ බන්ධනාගාර ගතව සිටි මොහු ඇප මත මුදාහැර තිබුණේ මීට මාස 4 කට පෙරය. ඔහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැත.

බොරලැස්‌ගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.