රතු අලි නිල් අලි පාද යාත්‍රාවෙන් කලබල වෙලා

අද ආණ්ඩුවට පාද යාත්‍රාව අභියෝගයක් වෙලා. කඩා වැටුණු ආණ්ඩුව රැකගෙන ඉන්නේ නිල් අලි පැටව් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පෙරේදා (06) ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ උඩුගම්පල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුග මහතා මෙසේද කිීවේය.

“පාද යාත්‍රාවෙන් පස්සේ රතු අලි පැටවු වගේම නිල් අලි පැටවුනුත් කලබලවෙලා. කෙතරම් බය වෙලාද කියනවානම්. පාද යාත්‍රාව පිළිබඳව විවිධ මැසිවිලි නගනවා. ඔවුන් ඉලක්ක කරගෙන තිබෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ අපවයි. මැතිවරණයෙන් පරාජයට පත්වී පස්සා දොරෙන් ඇමැතිවරයකු වූ පුද්ගලයෙකු මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රභාකරන්ට සමාන කර තිබුණා. මෙවැනි කථාවක් කිව හැක්කේ ජඩයෙකුට පමණයි. මුල අමතක වූ ජඩයෙකුට පමණයි. මෙවැනි ජඩයන්ට ඉදිරි මැතිවරණවලදී ජනතාව උත්තර දෙයි. ගමට ගියාම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ මේ අයට පොලු අරන් ගහලා එළවයි. මේ පක්‍ෂයටයි. රටටයි කරපු විනාශයට හැබැයි මේ අයගේ ලැජ්ජා නහර කපලා තියෙන්නේ. ඒ නිසා ජනතාවට අපි කියනවා ඔවුන්ට නිසි පාඩම් උගන්වන්න.

අනුර කුමාර දිසානායක රතු අලි පැටියා කියනවා රනිල්ට වඩා මහින්ද භයානකයි කියලා. රනිල්ගේ බටලන්දේදී ඝාතනය වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහෝදරවරු. යුද්ධයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පරාජය කළේ කොටි ත්‍රස්තවාදීන් එතකොට රතු අලි පැටියා කියන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කරපු එක වඩා භයානකයි කියලාද දේශපාලන වශයෙන් රතු අලි පැටියට මහින්ද භයානකයි තමයි. මොකද මේ අය රැකෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසා රතු අලි පැටවු රැකෙන්නේ රනිල්ගේ පිහිටෙන් නායකයන්ට එහෙම වුණත් ජනතා විමුක්ති පෙරමුණේ ගමේ සාමාජිකයන් එහෙම නෑ අද හැමෝම කථා කරන්නේ මහින්ද ගැන පාද යාත්‍රාව ගැන. බණින්නේ රාජපක්‍ෂලාට මේ හැම දේම කරන්නේ මහින්දගේ ප්‍රතිරූපය බිඳින්න. 2015 ජනවාරි 08 රටට බොරු වපුරලා බලය ගත්ත උදවිය වැඩ කරනවා වෙනුවට කරන්නේ තවමත් බොරුවෙන් ජීවත්වෙන එකයි. බොරුවෙන් රට කරන්න බෑ කියලා ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුයි.

සන්ධානයේ මහ ලේකම් කියනවා පාද යාත්‍රාවෙන් වැඩිපුරම සතුටු වුණේ යූ.එන්.පී. එක කියලා. එතුමාට වැරදිලා මුළු රටම අපත් සමග පාද යාත්‍රාවට එකතු වූණේ මේ ආණ්ඩුවට විරුද්ධව පාද යාත්‍රාව ආණ්ඩුවට අභියෝගයක් අද කඩා වැටිලා තිබෙන මේ ආණ්ඩුව රකින්නේ නිල් අලි පැටව්. සන්ධානයෙන් තරග කරලා රනිල්ගේ තුරුලට ගිහිල්ලා අද රෙදි නැතිව ආණ්ඩුවට කඬේ යන්නේ නිල් අලි පැටව් මේ නිල් අලි පැටව් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමක්. ලබන බදාදා, බ්‍රහස්පතින්දා වෙනකොට වැට් සංශෝධන පනත පාර්ලිමේන්තුවට එනවා. එදාට නිල් අලි පැටව් මොකද කරන්නේ. රතු අලි පැටව් මොකද කරන්නේ. මේ පනතට පක්‍ෂව ඡන්දය දුන්නොත් නිල් අලි පැටවුන්ට රතු අලි පැටව්ට ගමට එන්න දෙන්න එපා.

ප්‍රශ්නය – සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීම ගැන එකාබද්ධ විපක්‍ෂය මොකද කියන්නේ
පිළිතුර – මේක හරිම අසාධාරණයක් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්ත මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කරන වැරැද්දක් තමයි. ජනතා ආකර්ෂණය තිබෙන මන්ත්‍රීවරුන්ගෙන් පලිගැනීම. සනත්ගේ පක්‍ෂ සමාජිකත්වය අහෝසි කිරීම වක්‍රරාකාරව එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය දේ ඉටු කිරීමක් අපි ඊට එකඟ නෑ. මෛත්‍රී ජනාධිපතිවරයා පොදු අපේක්‍ෂකයා වෙලා ඉදිරිපත් වීම හරහා පක්‍ෂය කැඩුණා පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද මහත්තයා දිනන්න තිබිච්ච වෙලාවේ අගමැති ධුරය දෙන්නේ නෑ කියලා පක්‍ෂ ලේකම්වරුන්ව ඉවත් කරලා කරපු කුමන්ත්‍රණයෙන් අපේ ජයග්‍රහණය ආපස්සට හැරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය තිබුණු පළාත් පාලන ආයතන විසුරවලා එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්ත්වයක් ඇති කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කරන්නේ වර්තමාන නායකයෝයි. ඔවුන්ට ඒ පාපයෙන් මිදෙන්න බෑ. සනත්ලව අයින් කරලා මේ අයට පක්‍ෂයට රැක ගන්නනම් බෑ. සිදුවන්නේ පක්‍ෂය විනාශ වීමයි.

ප්‍රශ්නය – ඔබ කියන්නේ විනය ක්‍රියාමාර්ග ගැනීම වැරදියි කියලාද?
පිළිතුරු – මුලින්ම විනයක්‍රියාමාර්ග ගත යුත්තේ 2015 ජනවාරි 08 වන දා අපේ පක්‍ෂයේ අපේක්‍ෂකයාට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අයටයි. පොදු අපේක්‍ෂකයාට සහාය දුන් අයටයි. එදා පක්‍ෂ නායකයින් එක්ක කටයුතු කරලා අද පක්‍ෂ නායකයාව පිළිගන්නේ නෑ කියූ පමණින් ඔවුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීම වැරදියි.

ප්‍රශ්නය – ඔබලා ඉදිරියේදී තරග කරන්නේ වෙනමද?
පිළිතුර – මේ අපිව තල්ලු කරන්නේ එතැනට විය හැකියි. අපි තවම තීරණයක් අරගෙන නෑ වෙනම තරග කරනවාදැයි කියලා. හැබැයි අපි වෙනම තරග කලොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන එනමං නැතිව යනවා. අපේක්‍ෂකයෝ හොයා ගන්න බැරිව යනවා. මම දැන් ඉන්න පක්‍ෂ නායකයින්ට කියනවා ඔවුන් ඇත්තටම පක්‍ෂයට ආදරෙයි නම් මේ සැලකිලිමත් වෙන්න කියලා

ප්‍රශ්නය – ඔබේ පක්‍ෂ මහා ලේකම් කියනවා. ඔබ ඇතුළු කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් සහා පක්‍ෂයෙන් සමාව ගත්තොත් තවදුරටත් පක්‍ෂය තබා ගැනීම පිළිබඳව සලකා බැලිය හැකියි කියලා
පිළිතුර – අපි මොකක්ද මේ පක්‍ෂයට කරලා තිබෙන වැරැද්ද අපි වැරුද්දක් කරලා නෑ පක්‍ෂයෙන් සමාව ගන්න. වැරැද්ද කළේ අද ඔය පක්‍ෂයේ ඉහළ තනතුරු දරන අය ඔවුන් ජනවාරි 08 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට බරපතළ වරදක් කළා ඒ නිසා එදා අපේ පක්‍ෂය පවා දීපු අද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මුක්කු ගසා සිටින නිල් අලි පැටව් තමයි අපේ පාක්‍ෂිකයන්ගෙන් සමාව ගත යුත්තේ.

ප්‍රශ්නය – ආණ්ඩුව කියනවා අවුරුදු 5 ක් බලයේ ඉන්නවා කියලා. ඔබලා මොනවා කළත් වැඩක් නෑ නේ.
පිළිතුර – මේ ආණ්ඩුව අවුරුදු 02 ක දීගෙක ඉන්නේ හැම ආණ්ඩුවක්ම බලයේ ඉන්නකොට කිව්වේ අපිව වට්ටන්න බෑ අපි බලයේ ඉන්නවා කියලයි. හැම බලයකටම වඩා ප්‍රබලයි ජනතාවගේ බලය. අපි මේ ආණ්ඩුවට වැඩි කල් නටන්න දෙන්නේ නෑ.
ප්‍රදීප් අනුර කුමාර | සිසිර කුමාර කුරුප්පුආරච්චි