සිංහල සිසුන් යළිත් යාපනේ සරසවියට

යාපනය විශ්වවිද්‍යාලයේ තමන්ට ඇති ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය හැකි නිසා යළි විශ්වවිද්‍යාලයට යෑමට සූදානම් බව සිංහල සිසුහු පවසති.

ජනාධිපතිවරයා තම ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දුන් ‍පොරොන්දුව අනුව තමන් යළි අධ්‍යාපන කටයුතු සඳහා සහභාගිවීමට තීරණය කළ බවත් එම සිසුහු පවසති.මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ‍ලේකම් ධනුජන මහතා සඳහන් කළේ සියල්ල යථා තත්ත්වයට පත්ව ඇති බවත් අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සියලු පාර්ශ්ව සිය එකඟතාව පළ කර ඇති බවත්ය.

සිදුවූයේ සරසවි සිසුන්ට ආවේණික සුළු ගැටුමක් බවත් මේ වන විට සහෝදර සිසුන්ගේ ආරක්ෂාව මෙන්ම පෙර පැවැති සුහදතාව නැවත ඇති කිරීමට ක්‍රියා කරමින් සිටි බවත්ය.

ඒ නිසා ඒ පිළිබඳව මෙන්ම තමන් කෙරේ පූර්ණ විශ්වාසය තබා නැවත සරසවියට පැමිණෙන ලෙසද ශිෂ්‍ය සංගමයේ ‍ලේකම්වරයා සිංහල සිසුන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙම සිසු ගැටුමට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගෙන ඇපපිට මුදාහැරි ශිෂ්‍ය සංගමයේ සභාපති සිසිදරන් මහතා කියා සිටියේ නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා බවත් ඒ වෙනුවෙන් සහතික වෙන බවත්ය.

එමෙන්ම සහෝදර සිංහල සිසුන්ට බයක් සැකක් නොමැතිව ඉගෙනීම් කටයුතු සිදු කිරීමට හැකි බවත් ඒ නිසා සමගියෙන් සහෝදරත්වයෙන් ඉගෙනීම් කටයුතු සිදු කරන්නට විශ්ව විද්‍යාලයට පැමිණෙන ලෙසත් ඔහු සියලු ශිෂ්‍යයන්ට ආරාධනා කර සිටී.
සුජිත් කෝනාර