හමුදාපතිට සේවා දිගුවක්

වත්මන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාට සේවා දිගුවක් ලබා දීමට තීරණය වී ඇති නමුදු ඒ කෙතරම් කාලයකට ලබා දෙන්නේද යන්න ගැන ආණ්ඩුවේ පාර්ශ්ව කිහිපයක මත ගැටුම් නිසා යළි මහ බැංකු අධිපති ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූකාරිත්වයට සමාන තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාට පසුගිය වසරේ දී ලබා දුන් සේවා දිගුව මෙම මස 31 දායින් අවසන් වීමට නියමිතය. ඔහු ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් හි දී කටයුතු කළ ආකාරය ගැන පැහැදීම නිසා තවදුරටත් ඔහුට සේවා දිගුවක් ලබා දීම ජනාධිපතිවරයාගේ කැමැත්ත වී තිබේ. 

එහෙත් අගමැතිවරයාගේ අභිප‍්‍රාය වන්නේ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාට මීළඟ හමුදාපති ධුරය දැරිය හැකි වන ලෙස ක‍්‍රිෂාන්ත ද සිල්වාට මෙම වසරේ දෙසැම්බර් 31 දින දක්වා පමණක් සේවා දිගුවක් ලබා දීමටය. ආදී රාජකීයයකු වන ඒ මහතා දැනට හමුදා සේවයේ සිටින දක්ෂතම නිලධාරියකු ලෙස සැලකේ.

ඒ කෙසේ වෙතත් ඇමැති රාජිත සේනාරත්න මහතා, හමුදාපතිවරයාගේ සේවා දිගුව දෙසැම්බර් 01 වන දින දක්වා පමණක් ලබා දී, මේජර් ජෙනරාල් උභය මැදවල මහතාට හමුදාපති ධුරය ලබා දිය යුතු බවට ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව පැවැසේ. මැදවල මහතාට වයස 55 සපිරෙන දෙසැම්බර් 2 වනදායින් පසුව ඔහු විශ‍්‍රාම යෑමට නියමිතය. 

එම නිසා ඊට පෙර ඔහුව එම ධුරයට නම් කිරීම සිදු විය යුතුව ඇත. මැදවල මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දී බොදු බල සේනා ආදී ආගම්වාදී සංවිධාන මඟින් අලූත්ගම දී ඇති කළ ආගමික කලකෝලාහලය මර්දනය කර ප‍්‍රදේශයේ සාමය ඇති කිරීම සඳහා කැපවූවෙක් බවත් මෙහි දී සේනාරත්න මහතා පෙන්වා දී ඇති අතර ඔහු වැනි ජාතික සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන්නකු මෙම තනතුරට සුදුසු බවත් පවසා ඇත. 

ඒ කෙසේ වෙතත් අනෙක් පාර්ශ්වයක් පවසන්නේ මැදවල මහතාගේ බිරිඳට අයත් තංගල්ලේ පිහිටි නිවසක් නාමල් රාජපක්ෂගේ නිල් බළකායේ මූලස්ථානය ලෙස පාවිච්චි කිරීමට ලබා දුන් බවත් මේ නිසා මැදවල රාජපක්ෂවාදියකු බවත්ය.

කෙසේ නමුත් දෙසැම්බර් 31 වන දින දක්වා හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දුනහොත් කමල් ගුණරත්න, සුමේධ පෙරේරා, මිලින්ද පීරිස්, උභය මැදවල යන මේජර් ජෙනරාල්වරුන්ට හමුදාපති ධුරය ලැබීමේ අවස්ථාව ගිලිහී යයි. ඔවුන් සිවු දෙනාට වයස 55 සම්පූර්ණ වීම මෙම කාලය තුළ දී සිදු වේ. 
 
එමෙන්ම හමුදාපතිවරයාට වසරක සේවා දිගුවක් ලබා දුනහොත් චන්න ගුණතිලක මහතාට ද එම අවස්ථාව අහිමි වන අතර වසරකින් පසුව එම ධුරය සඳහා වඩාත්ම සුදුසුකම් සහිත නිලධාරියා වන්නේ වත්මන් උතුරු ආඥාපතිවරයා ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකය. 

පසුගිය යුද සමයේ දී යුද හමුදාවේ සැලසුම් හා සැපයීම් අංශය යන ප‍්‍රධාන අංශ දෙකෙහිදිම වගකීම් ඉසිලූ එවකට හමුදාපති සරත් ෆොන්සේකා සමඟ ඉතා සමීපව කටයුතු කළ දක්ෂ නිලධාරියකු ලෙස ඔහු ප‍්‍රකටය. එහෙත් රාජපක්ෂ රෙජීමයෙන් එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඇමෙරිකාවේ රැකවරණ ලබමින් එහි යුද හමුදාව හා සම්බන්ධ තනතුරක ඔහු සේවය කළේය. එහි දී මාසිකව ඩොලර් 18,000 ක පමණ ඉහළ වැටුපක් එහි දී ඔහු ලබා තිබිණි. එහෙත් පසුව ආණ්ඩු පෙරළියත් සමඟ ඔහු මෙරටට පැමිණ යළි හමුදා සේවයට එක් විය.

- සුභාෂ් ජයවර්ධන