මේවසර තුළ HIV ආසාදිතයන් 128 දෙනෙක්

මේ වසරේ පළමු මාස හය තුළ දී ශ්‍රී ලංකාවෙන් එච් අයි වී ආසාදිතයන් 128 දෙනෙකු සොයා ගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මින් සියයට 70ක් පමණ දෙනා පුරුෂයන් වන බවත් පිරිමින් අතර HIV පැතිර යාමට අනාරක්ෂිත සමලිංගික සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය.

'වයස් කාණ්ඩය ගත්තොත් අවුරුදු 25ත් 45ත් අතර අය තමයි වැඩි පුර ඉන්නේ. හැබැයි අවුරුදු 15ත් 25ත් අතර අයත් සියයට දහයක පහළොවක පමණ ප්‍රතිශතයක් ඉන්නවා.' ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.1985 සිට මේ දක්වා HIV ආසාදිතයන් 2438 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් මිය ගොස් ඇති පුද්ගලයන් ගේ සංඛ්‍යාව 390ක් පමණ වන බවයි සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ.

ඒ අනුව HIV ආසාදිතයන් දෙදහසකට වැඩි පිරිසක් සමාජයේ දැනට ජීවත් වන බව ස්ථිරව ම සොයා ගෙන ඇති නමුත් එම ප්‍රමාණය මෙන් දෙගුණයකට වැඩි පිරිසක් (4200ක් පමණ) සත්‍ය වශයෙන් සමාජයේ සිටින බවට ඇස්තමේන්තු කර ඇත.