ඩෙංගු මරණ 40ක්‌

මෙම වසරේ (2016) මේ දක්‌වා (මාස හයයි දින නවයක්‌ තුළ) ඩෙංගු උණ රෝගය හේතුවෙන් දිවයිනේ පුද්ගලයන් 40 දෙනකු පමණ මරුමුවට පත්ව තිබේ.

මෙම ජුලි මාසයේ ගත වූ දින නවය තුළදී පමණක්‌ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1056 ක්‌ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම වසරේ මේ දක්‌වා වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,799 කි.

මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ බස්‌නාහිර පළාතේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. එම සංඛ්‍යාව 7369 කි.

මීට අමතරව ඩෙංගු රෝගීන් කළුතර, ගම්පහ, රත්නපුර, මහනුවර යන දිස්‌ත්‍රික්‌කවලින් ද වැඩි වශයෙන් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

පසුගිය මාස කීපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක්‌ පෙන්නුම් කළ ද මෙම ජූලි මාසයේ ගත වූ දින 8 තුළදී ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්‌ පෙන්නුම් කෙරේ.

කොළඹ ප්‍රදේශයේ ඇළ මාර්ග හා කාණු නිසි පරිදි පිරිසිදු නොකරන බවත්, මේ හේතුවෙන් ඩෙංගු වසංගතය වැඩි වී ඇති බවත් පාලකයන් මේ ගැන වැඩි තැකීමක්‌ නොකරන බවටත් ජනතාව චෝදනා කරති.

තම නිවාසවල ඩෙංගු පරීක්‍ෂාවට පැමිණ නිකරුණේ ඩෙංගු නඩු දමා යන ඔවුන් මාර්ගයේ අපිරිසිදු කාණුවලට කිසිම නඩුවක්‌ නොදමන බවත් ජනතාව කියති.