හොල්සිම් ගන්න රාජපක්ෂ පවුලෙන් ලන්සුවක්

ලෆාර්ජ් හොල්සිම් සමාගම තම මුල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 3.7 ක් සොයා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සදහා ලොව පුරා ඇති තම සහෝදර සමාගම්වලට අනුබද්ධ ආයතන විකිණීමෙන් එම මුදල් සොයා ගැනීමට සූදානම් වේ.

ලංකා හොල්සිම් සමාගමද ඒ අනුව විකිණීමට තීරණය කර ඇත

ඒ අනුව ඇ.ඩො. මිලියන 200 ක වෙළදපොළ වටිනාකමක් සහිත හොල්සිම් ලංකා සමාගම මිලදී ගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප මිතුරකු වන නන්දන ලොකුවිතාන ප්‍රමුඛ ඔහුගේ ඔනික්ස් නැමති සමාගම ඇ.ඩො. මිලියන 400 ක ලංසුවක් ඉදිරිපත් කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැන ගන්නට ලැබී ඇත.

නන්දන ලොකුවිතාන යනු ඩුබාය් හි ව්‍යාපාර කටයුතු වල නිරත වන රාජපක්ෂවරුන්ගේ මුදල් ගණුදෙනු වෙනුවෙන් පෙනී සිටින තැනැත්තෙකු බව ප්‍රසිද්ධ රහසකි.

මොහු වඩා ප්‍රසිද්ධියට පත් වූයේ ඩුබාය් හි මැරියට් හෝටලය මිලදී ගත් ලාංකිකයා ලෙසය.

අපට දැන ගන්නට ලැබෙන අන්දමට නන්දන ලොකුවිතාන මහතා රාජපක්ෂවරුන්ගේ මුදල් සම්බාරයක් දේපළ සහ ව්‍යාපාර සදහා ඩුබාය් රාජ්යයේ ආයෝජයනය කර ඇත.

නන්දන ලොකුවිතාන රාජපක්ෂවරුන්ගේ මුදල් යොදා ලංකා වානේ සංස්ථාවද මිලදී ගෙන ඇත. පැනමා පත්‍රීකා වලද නන්දන ලොකුවිතානගේ නම සදහන් වූ අතර එය නිලෝනා ෆැෂන් ව්‍යාපාර නාමය යටතේ ප්‍රසිද්ධියට පත් විය. මෙම ව්‍යාපාර උපයන ලාබයට වඩා අධික ලාභයක් වාර්තා කර තම කළු සල්ලිවලට නීත්‍යානුකුල භාවයක් ලබා ගනී.

නන්දන ලොකුවිතාන මහතා චීනය සමගද දැඩි සම්බන්ධතා පවත්වන අයකු බව ප්‍රසිද්ධ කරුණකි. හොල්සිම් ලංකා මාර්ගයෙන් චීනයට ලංකාවේ වරායන් ලබාදීමේ උපාය මාර්ගයක් වශයෙන් නියමිත වටිනාකමට වඩා දෙගුණයකින් මෙම ලංසුව තබා ඇත.

මේ වනවිට නන්දන ලොකුවිතානට විරුද්ධව බරපතල වංචා විමර්ෂණ ඒකකය FCID මගින් සහ අල්ලස් කොමිසම මගින් ලංකා වානේ සංස්ථාවට ඇ.ඩො. මිලියන 48 ක් සහ ඩුබාය් හි මෙරියට් හෝටලයට ඇ.ඩො. මිලියන 190 ක් ආයෝජනය කිරීම පිළිබදව විමර්ෂණ කටයුතු සිදු කරන අතර ඒ පිළිබදව මුලු රටම බලා සිටී.

මෙවන් වාතාවරණයක වෙළදපොල වටිනාකම මෙන් දෙගුණයක් ගෙවා හොල්සිම් ලංකා ආයතනය මිලදී ගැනීමට ආයෝජනය කිරීම ගැටළු සහගතය.

නන්දන ලොකුවිතාන ඔනික්ස් සමාගම හරහා හොල්සිම් ලංකා ආයතනය මිලදී ගැනීමට ඩොලර් මිලියන 400 ක ලංසුව තබන්නේ මෙරට රාජ්ය බැංකුවක් වන ලංකා බැංකුව මගින් මුල්‍ය සහතිකයක් ලබා ගනිමින් වීම යහපාලන මුලධර්ම වලට පටහැනිය.

මෙම මුදල නන්දන ලොකුවිතාන වෙනුවෙන් ගෙවීමට ලංකා බැංකුව බැදී සිටින බවට මුල්‍ය සහතිකයක් නිකුත් කිරීම පුදුම සහගතය .

මෙම මූලික ආයෝජනය මුදල් විශුද්ධිකරණය සදහා වූ ප්‍රථම පියවර වන අතර වඩා බරපතලම කාරණය නම් මින් ඉදිරියටද සිමෙන්ති නිෂ්පාදනය සදහා අඛණ්ඩව කෙරෙන අමුද්‍රව්‍ය ආනයන වෙළද ගණුදෙනු හරහා ඔනික්ස් ආයතනයට නොකඩවා මින් ඉදිරියටද මුදල් විශුද්ධිකරණයට අවස්ථාව සැලසීමයි .

(යුක්තිය)