සම්බල්තිව්හි බෝධිය කපා විනාශ කරති

කිසියම් පිරිසක්‌ විසින් පෙරේදා (10 දා) රාත්‍රියේ ත්‍රීකුණාමලය සම්බල්තිව් ප්‍රදේශයේ පිහිටි බෞද්ධයන් විසින් වන්දනා කරනු ලබන බෝධියක්‌ කපා විනාශකර දමා බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටි බුදු කුටිය කඩා ප්‍රතිමා වහන්සේ අතුරුදන් කර ඇත.

තිරියාය වන්දනා කරන්නට යන බැතිමතුන් බොහෝ දෙනෙක්‌ මේ ස්‌ථානයට පැමිණ වන්දනා කර බෝ වෘක්‍ෂය ඔවුන්ගේ ගිමන් නිවන ස්‌ථානයක්‌ බවට පත් කරගෙන තිබිණි.

මීට විසි වසරකට පමණ පෙර මෙම ස්‌ථානයේ බෝධීන්වහන්සේ රෝපණය කර තිබුණේ සම්බල්තිව් මාර්ග බාධකයේ රාජකාරී කළ හමුදා සෙබළුන් විසිනි.

සිද්ධියෙන් පසු මෙම ස්‌ථානයට පැමිණ පරීක්‌ෂා කළ ත්‍රීකුණාමලය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය එම ස්‌ථානයේ නැවත බුදු කුටිය පිහිටුවන ලෙසට උපදෙස්‌ දුන්නාය.