නාමල් විශේෂ සිර මැදිරියක

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණ නියෝග මත ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇත. ඊයේ (11) සවස 6.30ට පමණ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර ඔහුව බන්ධනාගාර නාමලේඛනයේ ලියාපදිංචි කර විශේෂ සිරමැදිරියක රැඳවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

විශේෂ ආරක්ෂාව ලද සිරකරුවන් කිහිපදෙනකු සමඟ මැගසින් බන්ධනාගාර වාට්ටුවක රඳවා සිටින නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) රාත්‍රී බන්ධනාගාර රැඳවියන්ට බන්ධනාගාරය මඟින් සපයන සුපුරුදු ආහාරවේල ලබා නොගත් බව උපුල්දෙණිය මහතා පැවැසීය.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ නාමල් රාජපක්ෂ මහතා බැලීමට මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.