ඥානසාර හිමිට එරෙහිව පැමිණිලි

Muslim Council want action against BBS leader
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජාතීන්ට එරෙහිව වෛරීය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ‍පොලිස්පතිවරයාට ලිපියක් මගින් පැමිණිලි කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් ගේ අත්සනින් යුතුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඉකුත් ජූනි 25 වන දින මහියංගණය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඥානසාර හිමියන් විසින් මෙලෙස වෛරීය ප්‍රකාශ සිදුකර ඇති බවයි.

පසුගිය කාලයේ මෙවැනි වෛරීය ප්‍රකාශ සිදුකිරීම තුළින් අලුත්ගම සිදුවීම වැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවූ බවත්,පොලීසියටද තර්ජනය කර ඇති බවත් පෙන්වාදෙන මුස්ලිම් කවුන්සිලය එම වෛරීය ප්‍රකාශ ඇතුළත් ඩී.වී.ඩී තැටියක්ද පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ දැක්වෙයි.

අලුත්ගම සහ බේරුවල ඇතිවූ කලකෝලාහලයේදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල වශයෙන් දේපළ හානි සිදුවූ බවත්,නැවත එවන් තත්ත්වයක් ඇති නොවීමට මෙම පැමිණිලි පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇති බවත් මුස්ලිම් කවුන්සිලය ස්වකීය ලිපියෙන් වැඩිදුරටත් පවසා සිටියි.