පවිත්‍රාට උසාවියෙන් දැඩි අවවාද

ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 20ක මුදල් වංචාවක් සිදුවූ බව කියන නඩුවක පැමිණිලිකාරිය ලෙස අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද(28) තරයේ අවවාද කළාය.

අධිකරණ කටයුතු යන අවස්ථාවේ මන්ත්‍රීවරිය ඇගේ නීතීඥවරයාට ඇගිල්ලෙන් ඇන විටින් විට උපදෙස් දීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය එලෙස අවවාද කර තිබේ.


පැමිණිල්ල විභාග වන අතරතුර මන්ත්‍රීවරිය විසින් නීතිඥවරයාට ඇගිල්ලෙන් ඇන උපදෙස් දෙන ආකාරය විනිසුරුවරිය දැක තිබෙන අතර එහිදී විනිසුරු අරුණි ආටිගල මහත්මිය මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ නීතිඥවරියක ලෙස අධිකරණයේ හැසිරෙන ආකාරය පිළිබඳව නොදන්නේ ද යන්නයි.

මෙය තවත් එක් නඩුවක් පමණක් බවත් කිසිදු විශේෂත්වයක් නැති බවත් නීතීඥවරුන්ට උපදෙස් දීමට අවශ්‍ය නම් අධිකරණයෙන් පිටතදී සිදු කළ යුතු බවත් අධිකරණ කටයුතුවලට බාධා වන ලෙස හැසිරීම සුසුදු නැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

බත්තරමුල්ල සුභූතිපුර සුඛෝපභෝගි නිවසක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බවට පවසමින් මන්ත්‍රීවරිය විසින් ප්‍රසන්න ගාර්දි පුංචිහේවා නැමැති අයට විරුද්ධව ගොනු කර තිබූ පැමිණිල්ල අද කැදවනු ලැබීය.