නාවික හමුදාපතිට එරෙහිව පරීක්ෂණයක් ඕනෑ නෑ

නාවික හමුදාපතිවරයා සමඟ තමාට පෞද්ගලික වෛරයක් නොමැති බවත් එම නිසා පහරදීමේ සිද්ධියට නාවික හමුදාපතිවරයාට එරෙහිව තමාට පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය නැති බවත් හම්බන්තොට වරායේ සේවක විරෝධතාවයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් පහර කෑමකට ලක්වූ හම්බන්තොට ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතා ඊයේ (12දා) පැවැසීය.

එහෙත් මේ ප්‍රහාරය සමස්ත මාධ්‍යයටම එල්ල වූ නිසා ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග රජය විසින් ගත යුතු බවද රොෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

නත්තල් ගස්‌ හදනවාට විරුද්ධ නෑ

ගාලු මුවදොර ඉදිකෙරෙන යෝධ නත්තල් ගසට තමා මුලින්ම විරුද්ධ වූයේ ඊට මිලියන 200 ක්‌ වියදම් වන බවට කර තිබූ ප්‍රචාරය නිසා බවද දැන් බැලීමේදී ඊට වියදම් වන්නේ මිලියන 12 ක්‌ පමණ යෑයිද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (12 දා) ප්‍රකාශ කළේය.

කාදිනල්තුමා වැඩිදුරටත් මෙසේද පැවැසීය. නත්තල් ගස්‌ ඕනෑ තැනක ඕනෑම කෙනෙකුට හදන්න පුළුවන්. ඒත් රජයේ මුදල් විශාල අන්දමින් වියදම් කර නත්තල් ගසක්‌ ඉදිකරනවානම් ඊට විරුද්ධ නොවී බැහැ.

ගෝඨාභය - උදය ජපන් යති

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක්‌ ඊයේ (12 දා) ජපානය බලා පිටත් වූහ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සමඟ විදෙස්‌ගතවූ මන්ත්‍රීවරුන් වන්නේ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමචන්ද්‍ර යන අයයි.

සියලු බේද අමතක කර නැගී සිටිමු

රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් වනසා දැමීමේ කුමන්ත්‍රණය සතර දිගින් ක්‍රියාත්මක වී ඇති බැවින් කුඩා කුඩා වාද භේද අමතක කර එක පවුලක්‌ ලෙස එකට එක්‌ව නැඟී සිටින මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සියලු ජාතික සංවිධානවලින් ගෞරවයෙන් ඉල්ලා සිටින බව ඊයේ 12 වැනිදා සඳහන් කළහ.

ජාතිකත්වය තුළ සිටින නායකයන් පිරිස සමගි කරනොගෙන මෙම අර්බුදය රටට පවසා නොවිසඳුවහොත් කිසිදා ගෙවා නිම කළ නොහැකි පාපකර්මයක්‌ කර ගන්න වෙනවා යෑයිද උන්වහන්සේ කීහ.

තමිල්නාඩු නව මහඇමැතිත් ශ්‍රී ලංකාවට අත දමයි

තමිල්නාඩුවේ වත්මන් මහ ඇමැති වී.පනීර්සෙල්වම් මහතාද සිය මුල්ම රාජකාරිය ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම ආරම්භ කර ඇත. පනීර්සෙල්වම් ඉන්දීය අගමැති මෝදි වෙත හදිසි ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් මුදාහරින ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසත් ඉල්ලා තිබේ.

මෙම ධීවරයන් අත්අඩංගුවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු කලාපය උල්ලංඝනය කරමින් උතුරේ මුහුදු කලාපයේ සිටියදී බව හෙළිවී ඇත.