නාවික හමුදාපතිට එරෙහිව පරීක්ෂණයක් ඕනෑ නෑ

නාවික හමුදාපතිවරයා සමඟ තමාට පෞද්ගලික වෛරයක් නොමැති බවත් එම නිසා පහරදීමේ සිද්ධියට නාවික හමුදාපතිවරයාට එරෙහිව තමාට පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය නැති බවත් හම්බන්තොට වරායේ සේවක විරෝධතාවයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් පහර කෑමකට ලක්වූ හම්බන්තොට ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතා ඊයේ (12දා) පැවැසීය.

එහෙත් මේ ප්‍රහාරය සමස්ත මාධ්‍යයටම එල්ල වූ නිසා ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග රජය විසින් ගත යුතු බවද රොෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.


"නාවික හමුදාපතිවරයා පෞද්ගලිකව මාව හඳුනන්නේ නැහැ. මමත් නාවික හමුදාපතිවරයාව හඳුනන්නේත් නැහැ. මම මීඩියා කියලා කියද්දීත් ඔහු මට පහර දුන්නා. ඒත් මට නාවික හමුදාපතිවරයාගෙන් වන්දි ගන්න වුවමනා නෑ' යැයිද ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතා කියා සිටී.

තමන් මතු ආරක්ෂාව සඳහා පමණක් මේ පහරදීම සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් එම පැමිණිල්ලේද තමන් මේ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් වුවමනා නැති බවට දැන්වූ බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේය.