අද රටේ සෘජු නායකත්වයක්‌ නෑ

ගෝඨාභය රාජපක්‍ෂ
අද මේ රටේ තීන්දු තීරණ ගැනීමේදී සෘජු නායකත්වයක්‌ නොතිබෙන තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් තීරණ ගැනීමේදී එළහරකයි මී හරකයි වගේ දෙපැත්තට අදින තත්ත්වයක්‌ දක්‌නට තිබෙන බවද මේ රජය තුළ කිසිම පුද්ගලයකු කැපවීමෙන් වැඩකරන තත්ත්වයක්‌ පෙනෙන්නට නොතිබෙන බවද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

'ආවා ගෲප්' ලොක්‌කා පාතාලයේ සෙන්දුරන්

'ආවා ගෲප්
යාපනයේ කප්පම් ගැනීම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ ආවා කල්ලියේ නායකයා පාතාල කල්ලියක ප්‍රධානියකු ලෙස කටයුතු කළ සෙන්දුරන් නමැත්තා බව අනාවරණය වී ඇත.

පසුගිය මැයි මස ආවා කල්ලියේ නායකයා වූ කුමාරලේරත්නම් විනෝදන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසු සෙන්දූරන් එහි නායකයත්වය භාරගෙන තිබේ.

ප්‍රදේශ කිහිපයකට පැය 16ක් ජල සැපයුම අත්හිටුවයි

ජල සැපයුම අත්හිටුවයි
කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙම 30 වැනිදා (ඉරිදා) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 16ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළුඅග්ගල යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

සංගා සහ මහේල BPL විස්‌සට යති

සංගා සහ මහේල
බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2016 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් බී.පී.එල්. විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 කු තෝරාගෙන තිබේ. ඒ අතරට කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන ද වන අතර ඔවුන් දෙදෙනාම එකම කණ්‌ඩායමක ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

ෂකීබ් අල් හසන් නායකත්වය දරන ඩකා ඩයිනමයිට්‌ස්‌ කණ්‌ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයක්‌ තිදෙනකු වන කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන සහ සීකුගේ ප්‍රසන්න තිදෙනාම ක්‍රීඩා කරනු ලබයි.

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
සිරුරෙන් ආබාධිත වූ රණවිරුවන්ට ආර්ථිකය බාධාවක් නොවන අයුරින් ජීවිත කාලය තුළ මාසික වැටුප් ලබා දීම පිළිබඳ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයිද එය මෙවර අය-වැය යෝජනාවලට ඇතුළත් කළ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

දේශපාලන අන්තවාදීන් පිරිසක් ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ආබාධිත රණවිරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් තමා කනගාටු වෙන බවත් වත්මන් රජය ඔවුන් වෙනුවෙන් කඩිනම් තීන්දුවකට අවතීර්ණ වූ බවත් කී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීන්දුවට පැමිණි බව ද අනාවරණය කළේය.