ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
සිරුරෙන් ආබාධිත වූ රණවිරුවන්ට ආර්ථිකය බාධාවක් නොවන අයුරින් ජීවිත කාලය තුළ මාසික වැටුප් ලබා දීම පිළිබඳ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයිද එය මෙවර අය-වැය යෝජනාවලට ඇතුළත් කළ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

දේශපාලන අන්තවාදීන් පිරිසක් ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ආබාධිත රණවිරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් තමා කනගාටු වෙන බවත් වත්මන් රජය ඔවුන් වෙනුවෙන් කඩිනම් තීන්දුවකට අවතීර්ණ වූ බවත් කී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීන්දුවට පැමිණි බව ද අනාවරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ(27)සවස පැවැති ත්‍රිවිධ හමුදාවේ වික්‍රම සම්මාන ප්‍රධානෝත්සවයට එක් වෙමිනි.

මෙහි දී ත්‍රිවිධ හමුදා සේවය තුළ දී දිණූ දේශය වෙනුවෙන් සිදු කරන ලද ‍අමිල මෙහෙවර අගමින් නිලධාරීන් තුන්සිය දෙනකුට පදක්කම් පිරිනැමීම ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ලෙස මේ රටේ ජාතික ආරක්ෂාව හසුරුවන්ට තමා සූදානම් නැතැයි අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය නොවන සංවිධාන ඔවුන් ලියාපදිංචි වූ විෂය ක්ෂේත්‍රයන් පසෙකලා කිසිදු අයිතියක් නොමැති ජාතික ආරක්ෂාවට, රාජ්‍ය පාලනයට රටේ පාලනයට ඇඟිලි ගැසීමට, බලපෑම් කිරීමට උත්සාහ ගන්නා බව ද අවධාරණය කළේය. රටතුළ ආයුධවලින් ත්‍රස්තවාදය පරාජය කළද එතෙර සිටින එල්.ටී.ටී.ඊ මතවාදීන් ඔවුන්ගේ මතවාදය දිගටම පවත්වාගෙන යන බව ද එහෙයින් 2009 වසරේ ලබා ගත් ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් බවට පත්කිරීමට, නැවත රටතුළ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට කළ යුතු සහ ගත යුතු කාර්යයන් රැසක් තිබෙන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

යුද්ධය නිමාවී සාමය ඇතිවූ පමණින් ආරක්ෂක හමුදාවලට හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට විවේක ගැනීමේ හැකියාවක් නැතැයි කී ජනාධිපතිවරයා අභියෝග තේරුම් ගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධ රාජ්‍ය තොරතුරු ශක්තිමත් කිරීම, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සම්පත්ලබා දීම, අන්තර් ජාතික වශයෙන් තාක්ෂණික ඥානය ලබා ගැනීම අතවශ්‍ය බව ද පැවැසීය.

මුහුදෙන් එපිට සිටි යුදමය ලෙස පරාජය වුවද මතවාදී පරාජය නොවූ කිසිසේත් ඉටු කරගත නොහැකි සිහිනයක් පිළිබඳ සිහින මවන පිරිස පරාජය කිරීම අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර සහයෝගතාව හොඳ හිත, සුහඳ මිත්‍ර ශීලි විදේශ ප්‍රතිපත්තියක් ඇති කිරීමත්, රටතුළ ජාතික ආරක්ෂාව කිසිඳු අඩුවකින් තොරව සම්පත් හිඟයකින් තොරව යම් ආකාරයකින් අඩු තක්සේරු නොකර සැම විටම ක්‍රියා කිරීම අවශ්‍යයි යැයිද ජනාධිපතිවරයා පැවැසීය.

තමාට කෙතෙක් විවේචන එල්ල කළඳ, යුද බිමේදි සටන් කළ රණවිරුවාගේ ගෞරවය ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමා කැප වෙන බව ද එය අබ පියල්ලකින් හෝ වෙනස් නොකරන බව ද විවිධ චෝදනා කළඳ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යුද, නාවික, ගුවන් හමුදා සම්බන්ධ ප්‍රතිපත්තිය ආරක්ෂක හමුදාව ශක්තිමත් කිරීම, පෝෂණය කිරීම පහසුකම් ලබා දී ඔවුන්ගේ ගෞරවය ආකරක්ෂා කිරීමට කැප වෙන බව ද ජනාධිපතිවරයා කීවේය.