සංගා සහ මහේල BPL විස්‌සට යති

සංගා සහ මහේල
බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2016 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් බී.පී.එල්. විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 කු තෝරාගෙන තිබේ. ඒ අතරට කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන ද වන අතර ඔවුන් දෙදෙනාම එකම කණ්‌ඩායමක ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

ෂකීබ් අල් හසන් නායකත්වය දරන ඩකා ඩයිනමයිට්‌ස්‌ කණ්‌ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයක්‌ තිදෙනකු වන කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන සහ සීකුගේ ප්‍රසන්න තිදෙනාම ක්‍රීඩා කරනු ලබයි.
ඇන්ජලෝ මැතිව්ස්‌ සහ දිනේෂ් චන්දිමාල් යන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වත්මන් ක්‍රීඩකයන් මෙන්ම ලසිත් මාලිංගවද බී.පී.එල්. තරගාවලියට ඇතුළත්ව නැති අතර එයට හේතුව වන්නේ ඔවුන්ට තරග යෙදීම සහ ආබාධ තත්ත්වයන් හේතුවෙන් බව වාර්තා වේ.

කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන් මෙවැනි තරගවලට සහභාගි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ, ''ජාතික කණ්‌ඩායමේ සහ දේශීය තරගවලට බාධා නොවන අයුරින් ක්‍රීඩකයන්ට අයි.පී.එල්. හෝ බී.පී.එල්. වැනි තරගවලට සහභාගි වෙන්න අපි අවසරය ලබා දීල තියෙන්නෙ. ක්‍රීඩකයන්ට මේ තරගාවලි ක්‍රීඩා කිරීම මගින් ඔවුන්ගේ දක්‍ෂතා වගේම ආර්ථික වාසියකුත් ලැබෙනවා.'' යනුවෙන් පැවසීය.

කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන්ව බී.පී.එල්. සඳහා තෝරා නොගැනීම විශේෂත්වයකි. මෙම තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කාණ්‌ඩ ගත කරමින් මුදල් ලබා දෙන අතර එහිදී කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන වැනි විශිෂ්ට ක්‍රීඩකයන් 'ඒ' කාණ්‌ඩයට ඇතුළත් වේ. ඔවුන් සඳහා ඇමරිකානු ඩොලර් 70,000 ක්‌ හිමිවන අතර 'බී' කාණ්‌ඩයේ ක්‍රීඩකයන් සඳහා ඇමරිකානු ඩොලර් 50,000 ක්‌ හිමිවේ. 'සී' කාණ්‌ඩයේ ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 40,000 ක්‌ද 'ඩී' කාණ්‌ඩයේ ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 30,000 ක්‌ද හිමිවේ.

බී.පී.එල්. විස්‌සයි විස්‌ස තරගාවලිය ලබන මස 4 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්‌වා බංග්ලාදේශයේ ඩකා සහ චිතගොං නගරවලදී පැවැත්වෙන අතර කණ්‌ඩායම් හතක්‌ තරග වදිනු ලබයි.

බී.පී.එල්. විස්‌සයි විස්‌සට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ සහභාගි වන කණ්‌ඩායම්

තිසර පෙරේරා සහ නුවන් කුලසේකර, (කොමිල් වික්‌ටොරියන්ස්‌), දසුන් ශානක සහ සචිත්‍ර සේනානායක (රාන්ග්පූර් රයිඩර්), මිලින්ද සිරිවර්ධන සහ උපුල් තරංග (රජෂායි කිංග්ස්‌), චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස්‌ (චිතගොං වයිකින්ග්ස්‌), ඩිල්ෂාන් මුණවීර (බැරිසල් බුල්ස්‌), මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර සහ සීකුගේ ප්‍රසන්න (ඩකා ඩයිනමයිට්‌ස්‌)