ආදායම අඩු නම් 'වයරිං' නොමිලේ

අඩු ආදායම්ලාභී පවුල්වලට විදුලිය ලබාගැනීම සඳහා නිවෙසේ විදුලි පද්ධතිය ස්ථාපිත කර සකස් කර දීම (වයරිං කිරීම) නොමිලේ සිදු කිරීමට විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කීය.

මේ සඳහා අවශ්‍ය සියලු විදුලි උපාංග සියල්ල මණ්ඩලය විසින් සපයනු ලබන අතර, අදාළ වියදම කොටස් වශයෙන් විදුලි බිල සමඟ අය කරගන්නා බවද ඒ මහතා පැවසීය. අඩු ආදායම්ලාභීන්ට විදුලිය බලය ලබාගැනීම සඳහා ණය සහන ක්‍රමයක්ද ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා විදුලිය බලය සෑම නිවෙසකටම ලබා ‍දීමේ ඉලක්කය තව මාස කිහිපයකින් සඵල කරගැනීමට හැකි වෙතැයිද කීය.

විවාහ වයස වෙනස් කිරීමට විද්වත් විරෝධය

විවාහය සඳහා නෛතික වශයෙන් පිළිගත් වයස අවුරුදු 18ක් වන අවම වයස් ප්‍රමාණය අවුරුදු 16 දක්වා පහත දැමීමට විවිධ අංශ මඟින් යෝජනා ඉදිරිපත් වී ඇතත්, එය ගැහැනු දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට ඉතා අහිතකර තත්ත්ව ඇති කරන බව සෞඛ්‍ය, අධ්‍යාපන, නීති, මනෝ, සමාජ විද්‍යා, ළමා ඇතුළු විවිධ අංශයන්හි විද්වත්හු අවධාරණය කරති.

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානී සේනාරත්න, වෛද්‍ය හරිස්චන්ද්‍ර යමන්දාවල, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී දීපිකා උඩුගම, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංජලී ද සොයිසා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ඕස්ට්‍රේලියානු මේ කොමසාරිස්වරිය ඇතුළු විද්වත්හු මෙම විරෝධතා අදහස් දැක්වූහ.

ජනපතිට පස්‌සේ හෝ ඇත්ත තේරීම සතුටුයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමාද වී හෝ සත්‍යය තේරුම් ගැනීම සතුටට කාරණයක්‌ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බීබීසී ලෝක සේවය සමග ප්‍රකාශ කර ඇත. සීඅයිඩිය සහ එ සී අයිඩීය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හිටපු නාවික ප්‍රධානීන් තිදෙනකු අධිකරණය වෙත ගෙන ගිය ආකාරය ගැන තමා නොසතුටට පත් වන බවද ජනාධිපති සිරිසේන මහතා පවසා තිබුණි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් පැවසුවේ ජනාධිපති කළ ප්‍රකාශය ගැන ඇතැම් අය කරන විවේචන පිළිගත නොහැකි බවයි.

දඹගල්ලේ තුන් නිවුන් දරු උපතක්‌

මොනරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචි එක්‌දරු මවක්‌ ඊයේ (14 දා) මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී නිවුන් දරුවන් තිදෙනකු ප්‍රසූත කළාය.

විසිපස්‌ වැනි වියෙහි පසුවන කේ. එම්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී දියණියන් තිදෙනකු මෙසේ ප්‍රසූත කළ අතර දරුවෝ තිදෙනා හා මව ඉතාමත් නිරෝගී තත්ත්වයෙන් පසුවෙති. මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්‌. එම්. එස්‌. සමරනායක, වෛද්‍ය චින්තක රාජපක්‌ෂ යන මහත්වරු දරු ප්‍රසූතියට අදාළ සිසේරියන් සැත්කම සිදු කළහ.

ඉඩෝරය නිම කරමින් පෙදෙස් රැසක මහ වැසි

පැවැති දැඩි නියං සමය නිම කරමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පෙරේදා (13) සිට වැසි ඇදවැටෙමින් තිබේ.

කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(14) පස්වරු 1.00 වන විට ලබා ගෙන ඇති තොරතුරු අනුව රට තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලි මීටර් 76.2 ලැබී ඇත්තේ යටියන්තොට මාලිබොඩ ප්‍රදේශයටයි.මහියංගණයට ද මිලි මීටර 64.9 ක වර්ෂාපතනයක් ලැබී ඇත.