බස් රථ 2ක් ගැටෙයි - 38ක් රෝහලට (VIDEO)

ගාල්ල, මාපලගම ප්‍ර‍ධාන මාර්ගයේ ලබුදූව දක්ෂිනපාය අමාත්‍යංශය ආසන්නයේදී ඊයේ (09) පස්වරු 5.00ට පමණ බස් රථ 02ක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 38 දෙනකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.

ප්‍ර‍තිකාර ලබන අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.මෙම අනතුරින් කුඩා ළමුන් කිහිපදෙනකු ද තුවාල ලබා ඇති තිබේ.

පැය 12 ක් මහරගම - පාදුක්ක අතර ජලය නෑ

අද උදෑසන 9 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ 11ක ජල සැපයුම තාවකාලිකව ඇති හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දන්වා සිටි.

ඒ අනුව අද(10) උදැසන 9 සිට එදින රාත්‍රී 9 දක්වා පැය 12ක කාලයක් ජල සැපයීම අත්හිටුවීමට නියමිත අතර එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන ප්‍රදේශ වන්නේ මහරගම, බොරැලස්ගමුව, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම,රුක්මල්ගම,පැලන්වත්ත,මත්තේගොඩ,ගොඩගම,මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයි.

ඇඹිලිපිටිය හිටපු ASP යළි සේවයට

සත්‍ය කෙදිනකවත් යටපත් වෙන්නේ නැතැයි ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධව සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවී යළිත් පොලිස්‌ සේවයට එක්‌වූ සහකාර පොලිස්‌ අධිකාරි ඩී. ඩබ්ලිව්. ධර්මරත්න මහතා ඊයේ (9 දා) ප්‍රකාශ කළේය.

එමෙන්ම නීතිය හැම කෙනෙකුගේම අතට ගත නොහැකි යෑයිද පැවසූ සහකාර පොලිස්‌ අධිකාරිවරයා මේ පිළිබඳව අධිකරණයේ නඩුවක්‌ පැවැත්වෙන නිසා ඉන් එහා කිසිවක්‌ කීමට නොහැකි බවද කීය.තමා යළිත් අද හෝ හෙට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස රාජකාරිය භාර ගන්නා බවද කීය.

වැට්‌ පනත ශූන්‍යයි

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නියමිත ක්‍රමවේදයකට අනුව වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති නිසා එම පනත ශුන්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැට්‌ බදු ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමට අදාළව කථානායකවරයා වෙත ඒවා තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේදී නිවේදනය කරමින් කථානායකවරයා එසේ ප්‍රකාශ කළේය.

දැරියට අතවර කළ තිදරු පියා අත්අඩංගුවට

කොළඹ සිට පාසල් නිවාඩුවට ගාල්ලේ ආත්තම්මාගේ නිවසට පැමිණ සිටි අට හැවිරිදි කුඩා දැරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට හතර හැවිරිදි තිදරු පියෙකි.