වැට්‌ පනත ශූන්‍යයි

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නියමිත ක්‍රමවේදයකට අනුව වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති නිසා එම පනත ශුන්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැට්‌ බදු ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමට අදාළව කථානායකවරයා වෙත ඒවා තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේදී නිවේදනය කරමින් කථානායකවරයා එසේ ප්‍රකාශ කළේය.

ආරම්භයේදීම පනත් කෙටුම්පත නිසි ක්‍රමවේදයට ඉදිරිපත් කර නොමැති නිසා එය ශූන්‍ය වන බවද ඒ අනුව ඒ පිළිබඳ මතයක්‌ ඉදිරිපත් නොකරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායකවරයා කීවේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 152 ව්‍යවස්‌ථාවේ විධිවිධාන අනුව සහ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග 133 අනුව කටයුතු කරමින් මෙම පනත ඉදිරිපත් කර නැතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා කීවේය.