ධර්මපාලයේ විදුහල්පති අස්වෙයි

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ලෙස සිකුරාදා(17) වැඩ බාරගත් කේ කේ විජේරත්න මහතා ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග පවසා ඇත්තේ, පසුගිය සිකුරාදා විජේරත්න රාජකාරී ආරම්භ කළ අතර ඊට එරෙහිව දෙමාපියන් හා සිසුන් පිරිසක් විරෝධතා පැවත්වා ඇති බවයි.

ඒ හේතුවෙන් රාජකාරී ආරම්භ කර ටික වේලාවකින් පාසලෙන් පිටව යාමට ඔහුඅට සිදුවිය.

උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20 දා) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහගේ නියෝගයකට අනුවය.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේ දි ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේ ධම්මාලෝක හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නියෝගය නිකුත් කර තිබේ.

තිස්සගේ නඩුව කල්යයි

හිටපු එජාප මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට අදාළව ගොනු කර ඇති නඩුව එළඹෙන ජූලි මස 17 වන දිනට කල් තබා තිබේ.

අදාළ නඩුව අද (20) කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව මුළුමනින්ම පාහේ පදනම්ව ඇත්තේ 1වන හා 2වන සාක්ෂිකරුවන් මත බැවින් වුවත් ඔවුන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගයට වෙන යම් දිනයක් ඉල්ලා තිබේ.

තනි දුම්වැටිය විකුණන්න බැහැ

තනි දුම්වැටිය බැඟින් අලෙවි කිරීම වළක්වාලීමේ නීති රීති ඇතුළත් කැබිනට් පත්‍රිකාවට තමන් අද (20) දිනයේ අත්සන් තබන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

වත්මන් රජය ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට මෙරට දුම්පානය සියයට 47කින් පමණ අඩු වී ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

විමල් යළිත් රිමාන්ඩ්

නිවාස ඇමතිවරයාව සිටියදී රජයේ වාහන 40ක් අවභාවිත කළ බව කියන චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට අද (20දා) නියෝග කෙරිණි.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය කළාය.

'ආවා' කල්ලිය කොළඹට පනී

කප්පම් ගැනීම්, පැහැරගෙන යැම්, මිනී මැරුම්, කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් යාපනය අර්ධද්වීපයම භීතියට පත් කරගෙන සිටින ආවා පාතාල කල්ලියේ වර්තමාන නායකයා බව කියන ධනංජයන් ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනකු කොළඹ කොටහේන ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්‌නයක සැඟවී සිටියදී යාපනයෙන් පැමිණි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (18 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල කල්ලිය කොළඹ පදිංචි දෙමළ ව්‍යාපාරිකයන්ට ද තර්ජනය කරමින් කප්පම් මුදල් ලබාගෙන ඇති අතර ඔවුන් තවත් අපරාධ රැසක නිරත වූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පිළිකා නසන්න කරවිල ඇට

රුපියල බරපතළ අර්බුදයක!

විදේශ ආයෝජන දිගින් දිගටම අඩුවීම සහ විදේශ විනිමය ගලායැම් ඉහළ යැමෙන් රුපියලේ අගය රැක ගැනීම බරපතළ ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ අනුව ගිය වසරේ (2016) නොවැම්බර් මස දක්‌වා විදේශ සෘජු ආයෝජන ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 444.5 ක්‌ දක්‌වා සියයට 34.4 කින් පහත වැටී ඇත. මේ අතර රාජ්‍ය සුරැකුම්පත්වල විදේශ ආයෝජන නැවත ගලායැමද වේගවත් වී තිබේ.

මාර්තු දහඅට ග්‍රහ යුද්ධයක්‌

* වෘෂභ හා තුලා යන ලග්නවලට ගජ වාසි.

* මිථුන, කන්‍යා, මකර හා කුම්භ යන ලග්න හිමියන්ට පැතුම් ඉටුවේ.

* මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන අසුබ කාලයක්‌.

රාශි වළල්ලේ දොළොස්‌ ග්‍රහයන් අතරින් ප්‍රධාන මෙන්ම පෘථිවි වාසී අපට ඉතා ආසන්න ග්‍රහ තාරකා දෙකක්‌ වන බුධ හා සිකුරු යන ග්‍රහයන් දෙපළ සංයෝග වීමක්‌ හෙවත් ග්‍රහ යුද්ධයක්‌, මාර්තු 18 වැනි සෙනසුරාදා සවස 5.58 ට සිදු වීමට නියමිතය.

ජේලර්ලාටත් STF පුහුණුව

බරපතළ ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරවල සිට අධිකරණ වෙත රැගෙන යෑමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ පුහුණුව ලත් බන්ධනාගාර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පසුගියදා පොලිස්පතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම ඒකකය පිහිටුවීමට අදහස් කර ඇත. මේ සඳහා දැනට දිවයින පුරා බන්ධනාගාරවල රාජකාරි කරන සුදුසුකම් සහිත නිලධාරීන් මෙන්ම අලුතින් බඳවාගන්නා නව නියාමකවරුන් ද යොදාගන්නා බව මේ පිළිබඳ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කීවේය.