බුධ ග්‍රහයාගේ වෙනස්වීම ඔබට කෙසේ ද ?

තමාට සතුරු රාශියක ගමන් කරමින් සිටින බුධ ග්‍රහයා තමාට අයත් අස්ලිය නැකතේ ප්‍රථම පාදයේ ගමන් කරද්දී 2018-08-19 වැනි රවි දින ආපසු ගමන් නවතා කටක රාශියෙහි බුධට අයත් අස්ලිය නැකතේ 2018 සැප්තැම්බර් 2 වැනි රවි දින දක්වාම ගමන් කරනු ඇත.

මෙය මහජනයාගේ හැඟීම් යහපත් අතට පත්වන කාලයක් වනු ඇත. මහජන සුබසිද්ධිය උදෙසා නව නීති ක්‍රියාවට නැංවෙනු ඇත. නීත්‍යානුකූල නොවන ලෙසට සකස් කළ ව්‍යාජ ලේඛන පිළිබඳව හෙළිදරව් වීමක් සිදුවේ. මාධ්‍ය ආයතනයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයක් පිළිබඳ සේවක ප්‍රශ්නයක් පැනනගිනු ඇත. බන්ධනාගාර ආශ්‍රිතව ගැටලු ඇතිවේ. රට තුළ උණ වැනි රෝගාබාධයක් බෝවීම සිදුවන කාලයක් වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී ඇල්ජීරියාව, මොරොක්කෝව, සිරියාව, ඇමරිකාව, අයර්ලන්තය, පකිස්තානය, සයිප්‍රසය, ඉන්දියාව, එංගලන්තය, පර්සියාව වැනි රටක සාහිත්‍ය කටයුතු හෝ ප්‍රවෘත්ති පත්‍ර/ ග්‍රන්ථ ලේඛනයේ නිරත අයකුට මාරක වන අතර එවැනි පුද්ගලයන්ගේ මරණ වැඩි වැඩියෙන් ඇතිවන වකවානුවකි. ස්කොට්ලන්තය, අප්‍රිකාව, ටියුනීසියාව, ඇල්ජීරියාව ආශ්‍රිතව කෘෂිකාර්මික කටයුතුවල දියුණුවක් ඇතිවන අතර භූමියෙන්ද වටිනා සම්පත් මතුවනු ඇත. ඔස්ටියාව, චීනය, ඉන්දුනීසියාව, ඊජිප්තුව, බුරුමය, ආජන්ටිනාව, එංගලන්තය, ඩෙන්මාර්ක් රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ හා ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ඇතිවන අතර විදේශීය රටවල් සමඟ සාර්ථක වෙළෙඳ හා ආරක්ෂක ගිවිසුම්ද ඇතිවනු ඇත.

මීළඟට ඔබට

මේෂ - සිතේ සහනය

ඔබට යහපත් ඵල අත්වේ. සිතේ සහනය ඇතිවන අතර ව්‍යාපාර කටයුතුවල දියුණුවක්ද ඇතිවනු ඇත. ලේඛනයේ නිරත අයටද යහපත් වේ.

වෘෂභ - කටයුතු සාර්ථකයි

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. සිතේ සහනය ඇතිවන අතර සන්නිවේදන කටයුතුවල නිරත අයටද යහපත් ඵල ඇතිවනු ඇත.

මිථුන - ස්නායු පීඩා

තැන්පත් ධනය වර්ධනය කරගත හැකිවන අතර තමාගේ කටයුතුවලට විවිධ වූ පාර්ශ්වවලින් බාධා ඇතිවනු ඇත. ස්නායු පීඩාවක් ඇතිවන බැවින් කල්පනාකාරී වන්න.

කටක - මංගල යෝජනා

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වන අතර අවිවාහක අයට මංගල යෝජනා ගෙන එන වකවානුවකි. හිතේ පීඩා ඇතිවනු ඇත.

සිංහ - අසාධාරණ චෝදනාවක්

ඔබට අයහපත් වන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. ඔබ නොකළ දෙයකට ඔබට චෝදනාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කන්‍යා - හවුලට හොඳයි

ඔබට යහපත සැලසෙන අතර හවුල් කටයුතුවලින්ද ඵල ඇතිවනු ඇත. දේශපාලනයේ නිරත අයටද යහපත් ඵල අත්වනු ඇත.

තුලා - නව රැකියා

යහපත් ඵල අත්වන අතර භූමිය ආශ්‍රිත කටයුතු කරන අයට හැම අතින්ම හොඳ වේ. නව රුකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

වෘශ්චික - අධ්‍යාපනයට හොඳයි

ඔබට යහපත් වන අතර ලේඛන කටයුතුවල නිරත අයට සාර්ථක ඵල ඇතිවේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල ඇතිවනු ඇත.

ධනු - උණ රෝග

අයහපත් ප්‍රතිඵල ලැබෙන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා පැමිණේ. ආර්ථික අපහසුතාද ඇතිවනු ඇත. උණ රෝග පීඩාවක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

මකර - ව්‍යාපාරවලට යහපත්

මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. සිතේ සහනය ඇතිවේ. ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අයටද යහපත්ය.

කුම්භ - කටයුතුවලට බාධා

ඔබට අයහපත් වන අතර අධ්‍යාපනයේ නිරත අයද ඒවායින් බැහැරව කටයුතු කරන වකවානුවකි. තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. ආරම්භ කරන වැඩ සඵල නොවේ.

මීන - ආදරයට හොඳ කාලයක්

ඔබගේ කටයුතු සාර්ථක වන අතර ආදර සම්බන්ධතාවලට යහපත් කාලයක්ද වේ. විරැද්ධ ලිංගික ආකර්ෂණයක්ද ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයටද යහපත් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල