සිංහල අලුත් අවුරුදු නැකත්

පරණ අවුරුද්ද සඳහා ස්නානය :-


අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව :-

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08:13 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය :-

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01:49 සිට එදින අපර භාග 02:37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01:49 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08:13 සිට අපර භාග 02:37 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම :-

අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භග 10.40 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය :-
අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 11:53 ට නිල් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා වැඩ



අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම :-

අප්‍රේල් මස 16 වැනි සඳුදා පූර්ව භාග 10:16 ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකි රක්ෂා සඳහා පිටත්ව යාම :-‍

අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින කහ සහ රන්වන් පැහැති වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කොට පූර්වභාග 06:03 ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

සැ.යු : ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවට අනුව බව සලකන්න.