විශ්වාසභංගයට ජවිපෙ සහාය

අග්‍රාමාතයවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ පසු එහි තිබෙන කරුණු සැලකිල්ලට භාජන කිරීමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුවේ බල කේන්ද්‍ර දෙකක් තිබෙන බවත් එකක් රනිල් වික්‍රමසිංහ බල කේන්ද්‍රය බවත් අනෙක් බල කේන්ද්‍රය සිරිසේන බල කේන්ද්‍රය බවද කියා සිටියේය.පසුගිය අවුරුදු තුන තුළම තිබුණේ මෙම බල කේන්ද්‍ර දෙකේ ගැටුම බවද සඳහන් කළේය.

ඒකාබද්ධයේ 51ක් අත්සන් කරලා

මේ අතර අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවසුයේ,

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සකස් කර ඇති විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අත්සන් කළ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට අත්සන් කරන බවට දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.

'අගමැති පත්කිරීම මෛත්‍රී අතට'

අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්යජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ පසුව ඊළඟ අගමැතිවරයා තෝරා පත් කරගැනීමේ වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව බවය.

බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවද හෙතෙම පැවසීය.