ඇඟේ ලේ අඩු නම් පිළිකා සහ හෘදයාබාධ !

පාසල් දරුවන්, මැදි වියේ පුද්ගලයින් මෙන් ම මහළු වියේ සිටින බොහෝ පුද්ගලයින් රක්තහීනතාවයෙන් පෙළෙන අවස්ථා සුලභව දක්නට ලැබේ. වර්තමානයේ පවතින තරඟකාරී සමාජ රටාව තුළ කාර්යබහුල වන පුද්ගලයින් තමන්ටත් නොදැනීම රක්තහීනතාවයට ගොදුරු වේ. හිමොග්ලොබින් ශරීරයේ නිපදවීම අඩු වීම , රුධිරය වහනය වීම, සහ රතු රුධිරාණු ශරීරය තුළ දී විනාශ වීම යන ක්‍රම තුන මඟින් ශරීරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය අඩු විය හැකි ය.
මේ නිසා පුද්ගලයෙකුගේ ශරීරයට අත්‍යවශ්‍ය ශක්ති ප්‍රමාණය අඩු වී ශරීරය දුර්වල වීමට පුළුවන. විශේෂයෙන් ම පාසල් දරුවන් රක්තහීනතාවයෙන් පෙළෙනවානම් එය එම දරුවාගේ අනාගතයට අහිතකර ලෙස බලපායි. රක්තහීනතාවය, එසේත් නැත්නම් ශරීරයේ ලේ මදිකම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?,සමාන්‍ය පුද්ගලයෙකුගේ ශරිරයේ තිබිය යුතු හිමොග්ලොබින් ප්‍රමාණය කොපමණ ද?, ශරීරයේ හිමොග්ලොබින් අඩු විය හැකි ක්‍රම මොනවා ද? යන කරුණු පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතා අදහස් දැක්වුයේ මෙසේ ය.

රක්තහීනතාවය, යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

රක්තහීනතාවය යනු රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම ය. ඒ සඳහා හේතු රාශියක් බලපායි.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරිරයේ තිබිය යුතු හිමොග්ලොබින් ප්‍රමාණය කොපමණ ද?

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හිමොග්ලොබින් මිලි ග්‍රෑම් ඩෙසි ලීටරයට 12 ක් පමණ තිබිය යුතු ය. නමුත් මිලි ග්‍රෑම් ඩෙසි ලීටරයට 10 ට අඩු වු විට එය රෝගී තත්ත්වයක් ලෙස සැළකිය හැකි ය.

ශරීරයේ හිමොග්ලොබින් අඩු විය හැකි ක්‍රම මොනවා ද?

හිමොග්ලොබින් ශරීරයේ නිපදවීම අඩු වීම , රුධිරය වහනය වීම, සහ රතු රුධිරාණු ශරීරය තුළ දි විනාශ වීම යන ක්‍රම තුන මඟින් ශරීරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය අඩු විය හැකි ය.

රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය අඩු වීමට ප්‍රධානතම හේතුව ශරීරයේ යකඩ ඌනතාවයයි.ශරීරයේ යකඩ ප්‍රමාණය අඩු වීම නිසා මෙම තත්ත්වය ඇති වේ. එමෙන් ම සමහර විට ජීර්ණයේ අඩුපාඩු නිසා ද ශරීරයේ යකඩ අඩු විය හැකි ය.

ඊට අමතරව විටමින් B 12 , සහ ෆෝලික් ඇසිඩ් වැනි විටමින් වර්ග අඩු වීම නිසා ද රක්තහීනතාවය ඇති වේ. නැත‍හොත් හිමොග්ලොබින් නිෂ්පාදනය අඩු වේ. B 12 ශාකවල නොමැත. එම නිසා නිර්මාංශ පුද්ගලයෙකුට විටමින් B 12 අඩු විය හැකි ය.

තැලිමීසියා වැනි රෝග තත්ත්ව නිසා හිමොග්ලොබින් නිෂ්පාදනය අඩු වී රක්තහීනතාවය ඇති විය හැකි ය. රුධිර වහනය විශේෂයෙන් ම ඔසප් වීම වැඩිපුර සිදු වීම, අර්ශස් රෝගය, හෝ බඩවැලේ තුවාල වැනි තත්ත්වයන් සිදු වු විට ද රක්තහීනතාවය ඇති වේ.

කොකුපණුවන් වැනි පණු රෝග නිසා ළමයින්ගේ රුධිරය අඩු වී රක්තහිනතාවය ඇති විය හැක. විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයෙකුට රක්තහිනතාවය ඇත්නම්, බඩවැලේ ඇති පිළිකා වැනි තත්ත්වයන් නිසා ඇතිවන ලේ ගැලීමක් සමහර විට ශරීරයේ ‍හිමොග්ලොබින් අඩු වීමට හේතු විය හැකි ය.

රක්තහීනතාවයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ කෙබඳු ද?

රක්තහීනතාවයේ රෝග ලක්ෂණ වන්නේ ක්ලාන්තය, කම්මැලිකම, සුදුමැළිබව, ඇවිදින විට දී හෝ ව්‍යායාම කරන විට දී ඇති වන වෙහෙස, පපුවේ ගැස්ම හෝ වේදනාවයි.

එමෙන් ම හිසකෙස් ගැලවී යාම, හිසකෙස් වර්ධනය අඩාළ වීම , හම වියැලීම, හා නියපොතු කැ‍ඩෙනසුළු වීම, ද ඇති විය හැකි ය.

රක්තහීනතාවය ඇති වීම මඟින් පුද්ගලයෙකුට ඇති විය හැකි අතුරු ආබාධ මොනවා ද?

රුධිරයේ රතු රුධිරාණු ශරීරයේ සෑම අවයවයක‍ ම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වේ. විශේෂයෙන් ඔක්සිජන් පේශීවලට ගමන් කිරීමට රතු රුධිරාණු ක්‍රියා කරන නිසා ශරීරය වෙහෙසෙන විට එය හෘදයට බලපායි. එම නිසා හෘදයාබාධයක් ඇති විය හැක.

එමෙන්ම කලක් රක්තහීනතාවය තිබුණු විට හෘදය ඉදිමීමකට ලක් විය හැක. හෘදය දුර්වල වීම ( Heart failure ) ඇති විය හැකි ය.

හිමොග්ලොබින් අඩු වු බව දැනගත් විගස සිදු කළ යුතු ප්‍රතිකර්ම මොනවා ද?

ශරීරයේ හිමොග්ලොබින් අඩු බව දැන ගත් විට කළ යුතු පළමුවන දෙය වන්නේ වෛද්‍යවරයෙකු හමු වී එයට හේතුව සොයා ගැනීම ය. ප්‍රතිකාරය තීරණය වන්නේ හේතුව අනුව ය. හේතුව නොදැන යකඩ පෙති පමණක් පානය කිරීම සමහර විට ශරීරයට අහිතකර විය හැක. එම හේතුව සොයා ගැනීම සඳහා රුධිර පටල පරීක්ෂණ ( Blood Picture ), රුධිරයේ යකඩ පරීක්ෂණ, මළපහ පරීක්ෂණ, බඩේ ස්කෑන් පරීක්ෂණ, ඇතැම් විට එන්ඩස්කොපි පරීක්ෂණ වෛද්‍යවරයා විසින් නියම කළ හැකි ය.

ගර්භණී මවකට රක්තහීනතාවය ඇති වු විට සිදු විය හැකි බලපෑම් මොනවා ද? ඒ සඳහා ලබා දෙන ප්‍රතිකාර මොනවා ද?

ගර්භණී මවකගේ හිමොග්ලොබින් ප්‍රමාණය දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය වේ. එමෙන් ම දරු ප්‍රසූතියේ දී රුධිරය වහනය සිදු වන බැවින් රක්තහීනතාවය මවගේ ජීවිතයට අනතුරුදායක විය හැකි ය.ඇයට දෙනු ලබන ප්‍රතිකාරය තීරණය වන්නේ හේතුව උඩ ය.

රක්තහීනතාවය සම්බන්ධයෙන් සමජයේ පවතින මිත්‍යා මත කවරේ ද?

රක්තහීනතාවයට හේතුවක් සොයා ගන්නේ නැතිව යකඩ පෙති භාවිතා කිරීමෙන් පමණක් ඇතැම් විට ශරීරයේ යකඩ අධික වී සිරෝසීස් වැනි තත්ත්වයන් ඇති විය හැකි ය. එමෙන් ම පරීක්ෂා නොකළහොත් පිළිකා තත්ත්වයන් මඟ හැරී යාමට ඉඩ ඇත.

විශේෂයෙන්ම පාසැල් දරුවෙකුට ශරීරයේ පැවතිය යුතු නියමිත හිමොග්ලොබින් ප්‍රමාණය නොමැති වුවහොත් ඇති විය හැකි අවදානම කුමක් ද?

පාසැල් දරුවන්ගේ මතකයට, බුද්ධි වර්ධනයට, ශරීරයේ වර්ධනයට, සහ ක්‍රියාශීලී බවට බලපැමක් සිදු වේ.

රක්තහීනතාවය වළක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පිළිපැඳිය යුතු කරුණු කාරණා මොනවා ද?

පෝෂ්‍යදායී ආහාර වේලක් ගත යුතු ය. මෙයට විශේෂයෙන් කොළ වර්ග ආහාරයට අඩංගු කර ගත යුතු ය. අමතරව මස්, මාළු ද ආහාරයට ගත යුතු ය. ඒ මන්ද යත් මස්මාළුවල ද යකඩ බහුලව අඩංගුව තිබෙන බැවිනි.

මස්,මාළු සහ කිරි ආහාරයට නොගන්නේ නම් විටමින් B 12 , ලබා ගැනීම සිදු කළ යුතු ය.

පණු රෝගවලින් වැළකී සිටිය යුතු ය. ඒවාට නිසි ප්‍රතිකාර ගත යුතු ය. එමෙන් ම වැඩිපුර ඔසප් වීම සිදු වන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යුතු ය.

මදාරා මුදලි‍ගේ
Related Posts Plugin for WordPress, Blogger...