ජනපති අද ජපානයට

ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන මිතුදම තවදුරටත් ශක්තිමත් කරගනිමින් රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) ජපානය බලා පිටත්ව යයි.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව ජපානය බලා පිටත්ව යන ජනාධිපතිවරයා එළඹෙන 17 දා තෙක් එරට රැදී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


හෙට (13) දින ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 14 වැනි දින සමුළු සාකච්ඡා සඳහා ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා මුණගැසෙයි. එම සාකච්ඡාවලින් අනතුරුව ජපන් අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත අතර නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය. ජපන් විදේශ වෙළෙඳ සංවිධානය (ජෙට්රෝ) විසින් සංවිධානය කරනු ලබන, ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝක්යෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික රැස්වීමකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වනු ඇත.

මෙම රාජ්‍ය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව ද මුණගැසීමට නියමිත අතර සිය ජපන් සංචාරයට පෙරාතුව, ජනාධිපති සිරිසේන මහතා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන් ඊයේ (11) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැති ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජික රටවල ප්‍රථම සමුළුවට සහභාගී විය.

රාජ්‍ය නායකයන් හා ඉහළ පෙළේ නියෝජිතයන් තිස් දෙදෙනකුට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර සූර්ය සංධාන සමුළුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකාව මේ වසරේ පෙබරවාරි 12 වැනි දින ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජිකයකු බවට පත්විය. ජාත්‍යන්තර සූර්ය සංධානයේ ප්‍රධාන අරමුණ වන්නේ විකල්ප බලශක්ති මූලාශ්‍රයක් වශයෙන් සූර්ය බලශක්තිය වඩා ප්‍රශස්ත ආකාරයෙන් භාවිතයට ගැනීම සහ කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර පිහිටා තිබෙන සූර්ය සම්පතින් පොහොසත් රටවල සූර්ය තාක්ෂණයේ සුවිශේෂි යෙදවුම් අවශ්‍යතාවලට පිළියම් සෙවීමයි.

මෙම ව්‍යාපෘතිය හරහා සූර්ය ශක්තිය නිෂ්පාදනය කරන පරිසර පද්ධතිවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීමටත් සූර්ය ශක්තියෙන් පොහොසත් බහුතරයක් රටවල් මුහුණ දෙන පොදු ගැටලු වන සියලු දෙනාටම බලශක්තිය ලබාගැනීම, බලශක්ති සාධාරණත්වය සහ දරාගැනීමට හැකි බලශක්ති වියදම යන කරුණු ගැන වගබලා ගැනීමටත් ජාත්‍යන්තර සූර්ය සංධානය තවදුරටත් අපේක්ෂා කරයි.

ජනතාවගේ මූලික බලශක්ති අවශ්‍යතා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරා ගැනීමට හැකි පසුබිමක් රටතුළ සකස් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සූර්ය සංධානය හා එක්විය.