ආණ්ඩුව මාව හිරේ දාන්න හේතු හොයනවා

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැඟීසිටීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

"නීතිය අවනීතිය කරන වත්මන් රජයේ පොලිස් විමර්ශන" යන සිරස්තලය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත සදහන කරයි.

විෂයයන් කීපයක් යටතේ විවිධ විමර්ශන පවත්වමින් වර්තමාන ආණ්ඩුව සිය චරිතය ඝාතනය කිරීමට උත්සාහ දැරීමත් තමා අත්අඩංගුවට ගැනීමට හේතුවක් සොයා ගැනීමට මෑත කාලයේ ආණ්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

පසුගිය කාලය පුරා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස්, රක්නා ලංකා ආරක්ෂක සේවා, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඩී.ඒ. රාජපක්ෂ පදනම වැනි විෂයන් රාශියක් යටතේ විවිධ විමර්ශන පවත්වමින් මගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ දැරූ වත්මන් රජයේ අලුත්ම ප්‍රයත්නය වන්නේ හිටපු පුවත්පත් කර්තෘවරයකු වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට මගේ සම්බන්ධයක් ඇතැයි රටට ඒත්තු ගැන්වීම බව හා ඒ මඟින් හෝ මා අත්අඩංගුවට ගැනීමට හේතුවක් සොයා ගැනීම බව මෑත කාලීන ප්‍රවෘත්ති හා ආණ්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලින් පෙනී යයි.

පසුගිය සතියේ රජයට සම්බන්ධ ආරංචිමාර්ග උපුටා දක්වමින් පසුගිය සතියේ එක්තරා වෙබ් අඩවියක පවසා තිබුණේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියකුගේ සාක්ෂි අනුව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත් එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්තා කළේ ගෝඨාභය රාජපක්ෂට බවත්ය.

මෙය පැහැදිලිවම ජනතාව නොමඟ හැරීමට හා සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා හාස්‍යජනක උත්සාහයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ කාලයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුර දරමින් ජාතික ආරක්ෂාව පිළිබද උපදේශන හා සම්බන්ධීකරණ කටයුතුවල පමණක් නියැළී සිටියේය.
ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට අයත් නොවන ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පැවැති සිවිල් තනතුරක් පමණක් නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිදු හමුදා ඛණ්ඩයක් ක්‍රියාත්මක නොවීය.

හමුදා බුද්ධි අංශවල පාලනය ඇත්තේ යුද හමුදාව යටතේ මිස කපිල හෙන්දවිතාරණ රාජකාරි කළ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නොවේ. හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය යටතේයි. එවකට එහි ප්‍රධානියා වූයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික බි්‍රගේඩියර් අමල් කරුණාසේකරයි. ඔහු වාර්තා කළේ හමුදාපතිවරයාටයි. මේ කියන අවධියේ හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිදු බුද්ධි අංශ හමුදා ඛණ්ඩයක් ක්‍රියාත්මක විය නොහැකි බව ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් හෝ ඇති අයකු දනී.

මෑත කාලීන දේශපාලන මඩ ප්‍රචාරණවලට අනුව ලසන්ත ඝාතනය සිදු වූයේ මිග් ගුවන්යානා පිළිබඳ මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙළි කිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරන අයට අමතක වී ඇති කරුණ නම් මිග් යානා පිළිබඳව මට අපහාස වන ආකාරයට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව ලසන්ත කර්තෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතට මා විසින් නඩු පැවරූ බවය.

එම නඩුවෙන් මා දිනූ අතර අසත්‍ය චෝදනා කිරීම පිළිබඳව සමාව ඉල්ලා ප්‍රසිද්ධ නිවේදනයක් පළ කරන ලෙස උසාවිය විසින් ලසන්තගේ පුවත්පතට නියෝග කරන ලදී. ඒ අනුව සන්ඩේ ලීඩර් පුවත්පත ප්‍රසිද්ධියේ මගෙන් සමාව අයැද සිටියේය.
ලසන්ත වික්‍රමතුංගගේ චෝදනාවලට මා පිළිතුරු දුන්නේ ඒ ආකාරයට ගෞරවාන්විතව රටේ පවතින නීතිය තුළය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමඟ ගැටලුවක් නොතිබිණි.

නමුත් මෙහිදී මතක් කළ යුතු වැදගත් කරුණක් නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩි ලෙස විවේචනය කරමින් ළිපි පෙළක් ලියන ලද බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මා කළාක් මෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. විවේචනය පිළිබඳ දැඩි ලෙස කුපිතව සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියාත් අද ලසන්ත ඝාතනය ගැන පක්ෂග්‍රාහී විමර්ශනයක් පවත් වන රහස් පොලිසිය සොයා බැලිය යුතුය.

වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලිසිය මගෙන් ප්‍රශ්න කළ අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් භාරව සිටි 112 බළ සේනාධිපති බි්‍රගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛණ්ඩවල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලිසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනී යයි.

එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඍජුවම චෝදනා කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. හිටපු කතානායකවරයකු වන ජෝෂප් මයිකල් පෙරේරාද එයට සමාන ප්‍රකාශයක් කළේය. මේ අය අද බලයේ සිටින නමුත් හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන එදා ඔවුන්ම කළ චෝදනාව අමතක කොට ලසන්ත ඝාතන විමර්ශනය වෙනතකට හැරවීමේ දීන ප්‍රයත්නයක යෙදී සිටිති.

ලසන්ත ඝාතනයට හේතුව අපහාසාත්මක ලිපි නම් ඔහුගේ අපහාසයට ලක්ව එයට එරෙහි නඩු මඟට ගිය මා ගැන සෙවීමට අද පොලිසියට තිබෙන උනන්දුව ලසන්තගේ අපහාසයට ලක්ව ඔහුට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගත්, එසේම ලසන්ත ඝාතනය කළා යැයි සැකකරනු ලබන හමුදා බුද්ධි අංශවලට අණ දිය හැකි බලයක් එදා තිබුණු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැන සොයන්නටත් පොලිසියට හැකියාව තිබිය යුතුය.
විශේෂයෙන්ම වර්තමාන අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කළේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලිසියට එදා ඔහු කළ චෝදනාව ගැන පරීක්ෂණ අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කළ හැකිය. ඒ වෙනුවට අද කුහක දේශපාලඥයන් කරන්නේ නරියාට කුකුල්ලු භාර දුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලිසිය භාර දිය හැකි දැයි යෝජනා කිරීමයි.
රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්ම දේශපාලන අරමුණු මුල් කරගෙන පොලිසිය පවා බොරු සාක්කි නිර්මාණය කිරීමේ කටයුත්තට යොදා ගනිමින් වර්තමාන රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රට තුළ පමණක් නොව ජාත්‍යන්තරවද මහත් අපකීර්තියක් ගෙන ඒමට හේතුවන බවය.

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැඟී සිටීමයි. එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිළිතුරු දෙනු ඇත.