අතුරුදන්ව සිටි ඉරණවිල දරුවා මරාදමලා

දින දෙකක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටි හලාවත, ඉරණවිල, සමිඳුගම පදිංචිව සිටි නව හැවිරිදි සුසිත් නිර්මාල් දරුවා කෲර අන්දමින් ඝාතනය කර ඉරණවිල කඩොලාන සහිත ළඳු කැලෑවක දමා තිබියදී හලාවත පොලිසිය මඟින් ඊයේ (27 දා) සොයාගෙන තිබේ.

දරුවාගේ මළ සිරුර හමුවන අවස්‌ථාවේ නිරුවත්ව තිබූ බව ද පොලිසිය කියයි.

මෙම කෲර ඝාතනය හේතුවෙන් සමිඳුගම ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ ඉරණවිල ශාන්ත පීතර විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. මෙම දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයා මේ වනවිට සැඟවී සිටින බවත් ඔහු පිට පළාතකින් පැමිණි පොල් කඩන්නකු බවත් පොලිසිය පවසයි.

මොහු පසුගිය 25 වැනිදා (ඉරිදා) උදේ 10.00 ට පමණ වෙළෙඳසලක්‌ අසලදී තවත් කුඩා දරුවකුට ගිරවුන් ඇල්ලීමට කතාකර ඇති අතර එම දරුවා සැකකරු ළඟ තිබූ පිහියක්‌ දැක බිය වී මඟහැර ගොස්‌ තිබේ. පසුව එම සැකකරු මියගිය දරුවාට ටොෆි කිහිපයක්‌ දී රවටාගෙන වනයට යන අයුරු අසල්වාසීන් දැක තිබේ.

පසුව තම දරුවා සොයා දෙමාපියන් හා ගම්වැසියන් පොලිසිය සමග එක්‌ව මහ වනය පීරා බැලුව ද දරුවා ගැන කිසිදු හෝඩුවාවක්‌ දැනගැනීමට හැකි වී නැත.

අසල වෙළෙඳසලක සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවේ දරුවා පිට පළාතකින් පැමිණි පොල් කඩන්නා සමග යන අයුරු ද සටහන් වී ඇතැයි පොලිසිය කියයි.

සිය දරුවාට අත්වූ ඉරණමින් සුසිත්ගේ දෙමාපියන් වන චමින්ද සහ ප්‍රියන්ති යුවළ දැඩි කම්පනයකට පත්ව සිටිති. දරුවා අතුරුදන් වූ දිනයේ සුසිත්ගේ පියා ධීවර රැකියාවට ගොස්‌ සිට ඇති අතර දරුවා සිට ඇත්තේ මව හා කිරි අම්මා භාරයේය.

සැකකරු දරුවාව අපයෝජනයකට ලක්‌කර මරා දමන්නට ඇතැයි පොලිසි සැක කරයි. සැඟවී සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා තිබේ.

දරුවා සැකකරු සමඟ කඩොලානට යන බව දුටු ඉරණවිල සමිඳුගම එම කඩොලාන වනාන්තරයට පිවිසෙන මාර්ගයේ පදිංචිව සිටින කාන්තාවක්‌ මෙසේ කීවාය,

"සිද්ධිය වූ දින දවල් එකොළහට විතර මේ ළමයා තව මිනිහෙක්‌ එක්‌ක කොළපාට බෑග් එකක්‌ අරගෙන කැලෑවට ඇතුළු වුණා. සාමාන්‍යයෙන් මිනිසුන් මාළු අල්ලන්න මේ කැලයට යනවා. දර කඩන්නත් කාන්තාවෝ ඕන තරම් යන නිසා මම ගණන් ගත්තේ නැහැ. මේ දරුවව හොයනකොට තමයි මට මතක්‌ වුණේ මෙයා නේද මේ කැලේට රිංඟුවේ කියල ඔය මිනිහා නම් මම දැකලවත් නැහැ මීට පෙර".

සැකකරු ඇසින් දුටු තවත් දරුවෙක්‌ මෙසේ කීය,

"යාළුවා මටත් එන්න කීවා ගිරවුන් අල්ලන්න යන්න. මම බැහැ කීවේ මේ මිනිහගේ අතේ ලොකු පිහියක්‌ තිබුණ නිසාත් එයාව මම අඳුරන්නේ නැති නිසායි. දවල් වෙලා මම බෝලපිට්‌ටනියට යනකොට දැක්‌ක ඒ මිනිහා ආපසු යනවා. තනියමයි ගියේ. මම හිතුවා යාළුවව ගෙදර ඇරලන්න ඇති කියලා. ඒත් තාම ගෙදරට ගිහින් නැහැ".

සුසිත් නිර්මාල්ගේ වියෝවෙන් කම්පාවට පත් මව මෙසේ කියා හඬා වැළපේ,

"ඉරිදා උදේ දහම් පාසල් යන්න දරුවා හොයනකොට කවුද කීවා අන්න කඩපිලේ ඉඳගෙන ඉන්නවා කියලා. අනිත් ළමයි 4 දෙනා එක්‌ක මම පල්ලියට ගියා. සුසිත් පුතාගේ කලිසමයි, කමිසෙයි, බෑග් එකයි, සුරුවම් කූඩුව උඩ තියල පල්ලි ගිහින් ඇවිල්ල බලද්දිත් මේ ඇඳුම් ටිකයි, පොත් බෑග් එකයි එතනම තිබුණා. මට හොඳටම කේන්ති ගියේ උදේට කාලවත් ගිහිල්ල තිබුණේ නැහැ. මොකද මගේ දරුපැටියට වුණේ කියල හොයන්න පටන්ගත්තේ හොඳටම හවස්‌ වෙලයි".