දැරියක් දූෂණය කළ තරුණයෝ 5ක් දැලේ

බාලවයස්කාරියක් දූෂණය කළ තරුණයන් පස් දෙනකු පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි. 2016 වර්ෂයේ සිට වරින්වර පෙම් සබඳතා ගොඩනඟා ගනිමින් 15 හැවිරිදි බාල වයස්කාරියක් මෙලෙස වරින්වර දූෂණයට ලක්වී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.ඇය අවසන් වරට මාර්තු මස 01 සහ 13 වැනි දින මොරවක ප්‍රදේශයේ පාළු ගොඩනැඟිල්ලකදී දූෂණයට ලක් වූ බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.
දූෂණයට ලක් වූ බාලවයස්කාරියගේ නිවෙස පිහිටි ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ 2017 මැයි 26 ඇති වූ ගංවතුර හේතුවෙන් නිවෙස සම්පූර්ණයෙන් විනාශ වී ඇත.ඉන් අනතුරුව තාවකාලිකව ලෑලිවලින් ඉදිකළ පැල්පතේ වාසය කර ඇත.ගංවතුර උවදුරින් අනතුරුව බාලවයස්කාරියගේ පවුලේ ඇති වූ අගහිඟ තත්ත්වය හේතුවෙන් පාසල් ගමන අතරමඟ නැවතී ඇත. බාලවයස්කාරියගේ පියා මොවුන් අතහැර වෙනත් ප්‍රදේශයක ජීවත් වෙන අතර ඇය මව සමඟ ව්‍යාපාරික ස්ථානවල සේවයට ගොස් ඇත.එම අතරතුර හමුවූ විවිධ පුද්ගලයන් අතින් ඇය අතවරයට ලක්වී ඇත.

අවසන් වරට ඇය දූෂණය වූ අවස්ථාවේ ඇයගේ මවට මේ බව දැන ගැනීමට ලැබී ඇත.

ඇය විසින් බාලවයස්කාරිය කැටුව පෙරේදා (19දා) දින මොරවක පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් වරින්වර බාලවයස්කාරිය දූෂණය කළ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් පුද්ගලයන් මොරවක, වරල්ල, පිටබැද්දර යන ප්‍රදේශවල පදිංචි වයස 31, 23, 25, 20 වයස්වල පසුවන පුද්ගලයන් වේ.