අප්‍රේල් 01 දා සිට නව බදු තුනක් ක්‍රියාත්මකයි

මෙවර සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ වසරක් වේවා කියා ප්‍රාර්ථනා කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (27දා) පැවසීය.

අවුරුදු ප්‍රීතිය සමග ඛනිජ තෙල්,පොහොර,ගෑස්,රසායනික ද්‍රව්‍ය මිල වැඩිවීමට නියමිත බවත්, ඉන් පසුව ජනතාවට විශාල පීඩනයකින් යුතුව ජීවත්වීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඝානා රාජ්‍යය සඳහා සකස් කළ දේශීය ආදායම් පනතක් ශ්‍රී ලංකා රජය දැනට අනුමත කරගෙන තිබෙන බැවින් අප්‍රේල් 01 දා සිට ඉඩමක ප්‍රාග්ධන ලාභයෙන් 15%ක්ද,මහල් නිවාසයක් අත්පත් කරගැනීමේදී 15%ක වැට් බද්දක්ද,ව්‍යාපාර සතු ඉඩකඩම්,යන්ත්‍ර සූත්‍ර අලෙවි කිරීමේදී 28%ක ප්‍රාග්ධන බද්දක්ද රජය අය කිරීමට සැලසුම් කර ඇති බවයි.