විශ්වාසභංගය ජය පරාජයේ තීරණය දෙමළ සන්ධානය අතේ

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම හෝ පරාජය කිරීම ස`දහා තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ ඡන්දය බව එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක්‌ ප්‍රකාශ කළහ.

මේ නිසා එක්‌සත් ජාතික පක්‌ෂය අගමැතිවරයාට පක්‌ෂව ඡන්දය ලබා ගැනීම ස`දහා ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. ඒaකාබද්ධ විපක්‍ෂයේ පිරිසක්‌ද ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා අරඹා ඇති අතර, ද්‍රවිඩ සන්ධානය විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව හෝ විපක්‌ෂව ඡන්දය දීමෙන් වළක්‌වාලීමේ පසුබිම ඒකාබද්ධ විපක්‌ෂය විසින් සකසමින් සිටින බව ඉහත ප්‍රකාශකයා කීවේය.

කථානායකවරයා හැර පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ගණන 224 කි. ඒ අතරින් දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 16 ක්‌ තිබේ. එම මන්ත්‍රී ධුර සංඛ්‍යාව නොසලකා හරින්නේ නම් විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව හෝ විපක්‌ෂව ලබා දෙන මුළු ඡන්ද සංඛ්‍යාව 208 කි. ඒ අනුව විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය ස`දහා ගත යුතු ඡන්ද සංඛ්‍යාව 105 කි.

එක්‌සත් ජාතික පක්‌ෂය සතු ඡන්ද සංඛ්‍යාව 106 කි. එහෙත් තම පක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකුගේ ඡන්දය අවිනිශ්චිත බව එම පක්‌ෂයේම මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේය. ඒ විජයදාස රාජපක්‌ෂ, අතුරලියේ රතන හිමි සහ චතුර සේනාරත්න බවද හෙතෙම කීවේය. ඒ අනුව එක්‌සත් ජාතික පක්‌ෂය සතු ඡන්ද සංඛ්‍යාව 103 කි.

ඒකාබද්ධ විපක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සතු ඡන්ද සංඛ්‍යාව 95 කි. ඩග්ලස්‌ දේවානන්ද මන්ත්‍රීවරයා සමග එම සංඛ්‍යාව 96 කි. ජනතා විමුක්‌ති පෙරමුණ ද විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ ඡන්ද 06 ද සමගින් විපක්‌ෂයේ මුළු ඡන්ද සංඛ්‍යාව 102 කි.

එ.ජා.පෙ. මන්ත්‍රී කණ්‌ඩායම තුළ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් 06 ක්‌, රිෂාඩ් බදියුදීන් මහතාගේ කණ්‌ඩායමේ මන්ත්‍රීවරුන් 05 ක්‌, මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 07 ක්‌ ලෙස මන්ත්‍රීවරු 18 ක්‌ සිටිති.

විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්‌ථාවේදී දෙපාර්ශ්වයේ සිටි මන්ත්‍රීවරුන් අතුරින් කෙනකු සභාවට නොපැමිණියහොත් එය දෙපාර්ශ්වයටම අවාසියක්‌ වන බව ද ඉහත ප්‍රකාශකයා කීවේය. එම නිසා මෙම විශ්වාස භංග යෝජනාවට ඡන්දය විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන පාර්ශ්වය ජයග්‍රහණය කරනු ඇතැයි ද හෙතෙම කීවේය.