බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප්‍රකාශය පිළිගන්න එපාලු

බැඳුම්කර කොමිසම විසින් සකස්කළ වාර්තා ජනතාවට බලා ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ඔවුන් පවසන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයෙක් විසින් බැඳුම්කර වාර්තාව අතිශයෝක්තියක් ගෙන දෙන ආකාරයටත් ජනතාව සතුටු කිරීමේ ආකාරයටත් රචනා කර ඇති බවයි.

ජනපතිගේ ලේකම්වරුන් ජනපතිවරයා නොමග යවා හෝ ජනතාව නොමග යැවීමට උත්සාහ කර ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනය

බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාව හා ජනාධිපතිවරයා ඒ පිළිබදව කළ ප්‍රකාශය අතර පරස්පරයක් .

මාස දහයක පමණ කාලයක් පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙන ලදී. එම වාර්තාව උපයෝගී කරගෙන ජනාධිපති වරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබද සැකයක් අප සංවිධානය වෙත මතුවී ඇත.

විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු විසින් අදාල විමර්ශන වාර්තාව අතිශෝක්තියක් ගෙනදෙන ආකාරයට රචනාකර ඇති බව පෙනීයන අතර එසේ කර ඇත්තේ ජනතාව සතුටු කිරීම සදහාය. නීතිපතිවරයා කටයුතු කරනුයේ ජනාධිපති වරයාගේ ප්‍රකාශයට අනුව නොවන අතර ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාවට අනුවය. නඩු පවරන්නේ ද ඒ අනුවය.

එම නිසා ජනාධිපතිවරයා විසින් වහාම ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව ජනතාවට බලා ගැනීම සදහා ප්‍රසිද්ධ කලයුතුය. එසේ කරනතුරු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටින අතර ජනාධිපතිතුමාගේ ලේකම්වරුනට කීමට ඇත්තේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සහ කරන විට ඔබලා නිකම්ම ගොනාට ඇන්දෙන බවයි. එසේත් නැතිනම් ඔබලා ජනතිපතිවරයා නොමග යවා ඇති බවයි.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related Posts Plugin for WordPress, Blogger...