පසුගිය වසරේ ලොව හෙල්වු සල්ලිකාරයෝ

ධනවතෙකු වීම මේ කාලයේ බොහෝ දෙනෙකු තුළ ඇති ලොකුම සිහිනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ධනවතුන් වන්නට මෙන්ම ධනවතුන් ගැන කියවන්නටද මේ බොහෝ දෙනෙකු කැමැත්ත දක්වන බව රහසක් නොවේ. මේ සමග පළවන්නේ 2017 වසරේ ධනවතුන් ගැන මේ වනවිට පළවී ඇති තොරතුරු බිඳකි.

2017 වසර අවසන් වනවිට ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයා කවුද කියා දැනගන්නට කවුරුත් කැමැති වනු ඇත. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය වැනි වාර්තාවන්ට අනුව 2018 ජනවාරි මුල වනවිට මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ජෙෆ් බෙසෝස් නමැති ව්‍යාපාරිකයායි.
ඔහු අන් කවුරුත් නොව සුප්‍රකට ඔන්ලයින් වෙළෙඳ ව්‍යාපාරයක් වන ඇමසන්.කොම් ව්‍යාපාරය ආරම්භ කළ තැනැත්තාය. ඔහු එහි සභාපතිවරයා ද වෙයි. ජෙෆ් බෙසොස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න බව පැවැසේ. (ශ්‍රී ලංකා රු. බිලියන 15,000ක් හෙවත් ට්‍රිලියන 15කට ආසන්න ප්‍රමාණයකි).

මෙම වාර්තාවට අනුව වඩාත්ම ධනවත් පුද්ගලයන් අතර 2 සිට 5 දක්වා ස්ථාන හිමි කරගෙන සිටින්නේ පිළිිවෙළින් බිල් ගේට්ස්, වොරන් බෆෙට්, අමාන්සියෝ ඕටේගා, මාක් සකර්බර්ග් යන අයයි. ඔවුන්ගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 92, 85, 76, 75 ආදී වශයෙනි. මෙම ධනවතුන් අතරින් බෙසෝස්, ගේට්ස්, බෆෙට්, සකර්බර්ග් යන සිව් දෙනාම ඇමෙරිකානු ජාතිකයන් වීමද විශේෂත්වයකි. අමාන්සියෝ ඔටේගා පමණක් ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරිකයෙකු වෙයි.
ලොව ධනවත්ම පුද්ගලයන් සම්බන්ධයෙන් කියැවෙන තවත් විශේෂ කාරණාවක් වන්නේ 2017 වසර තුළ ධනවත්ම පුද්ගලයන් 500 දෙනාගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකින් වැඩි වී ඇති බවයි. මෙය ඩොලර් බිලියන දහසකට සමාන ප්‍රමාණයක් වන අතර ලෙහෙසිපහසු ගණනක් නොවන බවද සඳහන් කළ හැකි වෙයි. මේ බොහෝ දෙනෙකු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කරන අය වීමද තවත් විශේෂත්වයකි.

කෙසේ වෙතත් 2017 අවසන් වනවිට ලෝකයේ බිලියනපතියන් වැඩිම කලාපය බවට පත්ව ඇත්තේ ආසියාවයි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නට චීනය සමත්ව සිටියි. මේ වනවිට ඇමෙරිකාවේ සිටිනවාට වඩා බිලියනපතියන් පිරිසක් චීනයේ සිටින අතර සෑම දින පහකට වරක්ම එහි බිලියනපතියෙකු බිහිවන බවක්ද පැවැසේ. පසුගිය ඔක්තෝබර් මාසයේ පළවූ වාර්තා අනුව චීනයේ සිටි බිලියනපතියන් ගණන 594කි. ඇමෙරිකාවේ මෙම සංඛ්‍යාව වූයේ 535කි. ආසියාව තුළ බිලියනපතියන් බහුලව සිටින අනෙක් රටවල්/කලාප වනුයේ ඉන්දියාව, හොංකොං සහ ජපානයයි. මේ වනවිට චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටින්නේ අලිබාබා සමාගමේ සභාපතිවරයා වන ජැක් මා බව අනාවරණය වෙයි. ඔහුගේ වත්කම ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 47කි. ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ ඔහු 14 වෙනි ස්ථානය හිමි කරගෙන සිටියි. (කෙසේ නමුත් ඔහු මෑතක පවසා තිබුණේ තමාගේ ජීවිතයේ සුන්දරම කාලය ගුරුවරයෙකු ලෙස ‍පොඩි පඩියකින් ජීවත් වූ කාලය බවයි) පසුගිය වසර තුළ සිය වත්කම් වැඩියෙන්ම වර්ධනය කරගෙන ඇත්තේ ද චීන බිලියනපතියන් බව පැවැසේ. මෙම පුද්ගලයන් අතරින් බොහෝ දෙනෙකු තම පවුල්වල උරුමයන් හරහා නොව සිය උත්සාහයෙන්ම ධනපතියන් බවට පත්වූවන් වීමද කැපී පෙනෙන කාරණයක් වී තිබේ.

අපේ අසල්වැසියා වන ඉන්දියාවද ධනවතුන් විශාල පිරිසක් ජීවත්වන රටකි. එහි ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි ලොව ධනවතුන් අතර 20 වෙනි ස්ථානය හිමි කරගෙන සිටින බව වාර්තා වෙයි. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 40කට ආසන්න බවද සඳහන්ව තිබිණි.

ලොව ධනවත්ම පුද්ගලයින් අතර මුල් ස්ථානවල කාන්තාවන් කිසිවෙකු නැති වීමද අවධානයට ලක් වූ කාරණයකි. මේ වනවිට ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ඇලිස් වොල්ටන්ට හිමි වන්නේ 17 වෙනි ස්ථානයයි. ඇලිස් ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරයක් වන ‘’වොල්මාට්’’ හි නිර්මාතෘ වූ සෑම් වොල්ටන්ගේ එකම දියණිය වන අතර ඇය සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45 ක් ලෙස සඳහන් වේ. කෙසේ වෙතත් ඇය මේ වනවිට නිරත ව සිටින්නේ පියා ආරම්භ කළ ඔවුන්ගේ පවු‍ලේ ව්‍යාපාරයෙහි නොවේ. ඇලිස් වොල්ටන් ඇමෙරිකානු කලා ඉතිහාසය හා සම්බන්ධ කෞතුකාගාර ආයතනයක් පවත්වාගෙන යමින් එහි සභාපතිවරිය ලෙස කටයුතු කරයි. ලොව ධනවත්ම කාන්තාවන් අතර මුල් ස්ථාන පහ හිමි කරගෙන සිටින අනෙක් ධනවතියන් ලෙස සඳහන් වන්නේ ජැකලින් මාර්ස්, මාරියා ෆිසොලෝ, සුසේන් ක්ලැට්න්, ලොරේන් ජොබ්ස් ය. තුන්වැනි සහ සිව් වෙනි ස්ථානවල සිටින මාරියා සහ සුසේන් පිළිවෙළින් ඉතාලි සහ ජර්මන් ජාතික කාන්තාවන් වන අතර අනෙක් තිදෙනාම ඇමෙරිකානු අය යි. ලොරේන් ජොබ්ස් යනු සුප්‍රකට ඇපල් සමාගමේ හවුල් නිර්මාතෘවර ස්ටීව් ජොබ්ස්ගේ බිරිඳයි.

කෙසේ නමුත් ලෝකයේ ධනවතුන් සහ ඔවුන්ගේ වත්කම් මේ ආකාරයෙන් දිනෙන් දින වැඩි වෙමින් තිබියදී අනෙක් පැත්තෙන් දුප්පතුන් සහ දුප්පත්කමද වැඩි වෙමින් ඇති බව අමතක කළ හැකි නොවේ. ලොව දිළිඳු ජනයා වැඩිම සංඛ්‍යාවක් ජීවත්වන කලාපය වන්නේ අප්‍රිකාවයි. ඒ අතරින්ද 2017 සංඛ්‍යා‍ලේඛනවලට අනුව වඩාත්ම දිළිඳු රට හැටියට සැලකෙන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයයි. ඊට අමතරව කොංගෝ, බුරුන්දි, ලයිබිරියා, නයිගර් වැනි රටවල් ද වඩාත්ම දිළිඳු රටවල් පහ අතරට ගැනේ.

ආර්ථික වශයෙන් ඇති නැති පරතරය ලෝකයෙහි වේගයෙන් වැඩි වෙමින් තිබිම මේ වනවිට විශාල අර්බුදයක් වී ඇති ගැටලුවකි. මේ නිසා ලොව බොහෝ කලාපවල විවිධ ආකාරයේ නොසන්සුන් තත්ත්වයන් සහ අසහනයන් උත්සන්න වෙමින් ඇති ආකාරය පැහැදිලිව දැකිය හැකි වෙයි. 2016 වසරේ ඇතැම් සංඛ්‍යා‍ලේඛනවලට අනුව ලොව ජනගහනයෙන් පහළ ස්ථරයේ ජීවත්වන සියයට 50කගේ (බිලියන 3.6කගේ) වත්කම්වලට සමාන වත්කම් ප්‍රමාණයක් ඉහළම ස්ථරයේ සිටින ධනවතුන් 8 දෙනා සතු විය. (මෙම අට දෙනාම පිරිමින් වීමද තවත් විශේෂත්වයකි. )
කෙසේ හෝ වේවා, දිනෙන් දින වර්ධනය වෙමින් ඇති මෙම විෂමතාවන් සමනය කිරීමට හැකි නොවුවහොත් ලෝකය තව තවත් ගැටුම්, අසහන, අර්බුදවලින් ගහන තැනක් බවට පත්වීම වැළකිය නොහැකි වනු ඇති අතර මෙම තත්ත්වය විසඳිය හැක්කේ කෙසේද යන්න ගැන බොහෝ විශේෂඥයන්, විද්වතුන්, දේශපාලන නායකයන් ඇතුළු පාර්ශ්ව අවධානය යොමු කරමින් සිටින බවද දැකිය හැකි වෙයි.

කිත්සිරි මල්වත්ත