ක්‍රීඩකයන්ගේ මනස හදන්න මනෝ වෛද්‍ය ජොන්සි අද එයි

දිගින් දිගටම පරාජයේ වේදනාවෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එළැඹෙන බංග්ලාදේශ සංචාරයට පෙර මානසිකත්වය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මනෝවෛද්‍ය විශේෂඥවරයකු වන පිල් ජොන්සි මහතා අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ යෝජනාවක් අනුව මනෝවෛද්‍ය ජොන්සි මහතාගේ සේවය වරින් වර කණ්ඩායමට ලබාගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළ කර තිබේ.

මීට පෙර වසර 4ක පමණ කාලයක් හතුරුසිංහ මහතා සමග කටයුතු කර ඇති මනෝවෛද්‍ය ජොන්සි මහතා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට දින දහයක වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පුහුණුවිම් ආරම්භ කිරීමට පෙර මනෝවෛද්‍යවරයා විසින් සකස්කරනු ලැබූ ප්‍රශ්න 40කට පිළිතුරු සැපයීමට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට සිදුවනු ඇත.

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියක් අතරතුර තමාට මේ මනෝවෛද්‍යවරයා මුලින්ම මුණගැසුණු බවත්, ඔහු තමාට හඳුන්වා දුන් සිඩ්නි තන්ඩර් පිලේ මයිකල් හසී මනෝවෛද්‍යවරයාගේ සේවය ලබාගෙන ඇති බවත් කී හතුරුසිංහ මහතා වසරකට සිවු වතාවක් පමණ ඔහුගේ සේවය වරින් වර ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට ලබාගැනීමෙන් සාර්ථක ප්‍රතිළුල නෙලා ගත හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.

‘මේ කාර්යය ක්‍රීඩකයන්ට මෙන්ම තමාටත් විපුල ඵල ගෙන දෙන කර්ත්‍යවයක් වනු ඇතැයි හතුරුසිංහ මහතාගේ අදහස වී තිබේ. සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමගත්, කලක් බංග්ලාදේශ කණ්ඩායම සමගත් කටයුතු කර ඇති මනෝවෛද්‍ය ජොන්සි මහතා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, බේස්බෝල් තරගාවලිය, ලීග් රගර් සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහා සිය සේවය ලබා දී ඇති පළපුරුදු මනෝවෛද්‍යවරයෙකි.

අද ශ්‍රී ලංකාවට පැමිණෙන ජොන්සි මහතා හෙට (3) ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් සමග වැඩ ඇරැඹීමට නියමිතය. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඇතැම් සංචාර සඳහා එක් කරගැනීමට තීරණය වි තිබේ.