ස්වේච්ඡා බලසේනාවේ කලා ශිල්පීන් හිටියා

ගායන ශිල්පී ක‍්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

රණවිරුවන් දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය සඳහා වන ව්‍යාපෘති සැලසුම්කිරීම සඳහා ඔවුන්ව මෙසේ බඳවාගෙන ඇති අතර 2015 ජනවාරි 1 වැනිදා සිට ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට එවැනි බඳවාගැනීම් කළ හැකි බව කී බි‍්‍රගේඩියර්වරයා යම් අවස්ථාවක ඔවුන්ගේ සේවය අනවශ්‍ය නම් ඉවත් කළ හැකි බව ද ප‍්‍රකාශ කළේය.

බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ පසුගිය රජය සමයේ කලාකරුවන්ට හමුදාවෙන් වැටුප් දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සත්‍ය ඒවාද යනුවෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.