දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සංවෘත්ත සේවා බවට පත් කෙරේ

දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන යන සේවාවන් සංවෘත්ත සේවාවන් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බදාදා (දෙසැ 13) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවේය.මෙමගින් ඉහත කී සේවාවන් වෙන වෙනම පවත්වාගෙන යාමටත් ඒවායේ වැටුප් තීරණ එකිනෙකට බලනොපාන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්රිය සේවකයන්ගේ ගැටලුවට ද එමගින් පිළිතුරු ලබාදිය හැකි බව පැවසූ ඇමතිවරයා ඔවුන් සමග තමන්ද සහභාගිවූ බදාදා උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල කමිටු රැස්වීමේදී වර්ජනයෙන් ඉවත්වීමට ඔවුන් ඒ අනුව එකඟවූ බව කියා සිටියේය.

"දුම්රිය තාක්ෂණික අංශයේ අයට පඩි වැඩිකරහම, ඒක අපේ සෞඛ්‍ය අමාත්‍යංශයට බලපානවා, තවත් අමාත්‍යංශවලට බලපානවා, එතනයි මේ ගැටලුව තිබුනේ, මොකද එකම වැටුප් තලේ ඉන්න අය නිසා"

පසුගිය රජයේ සමයේ රාජ්‍ය සේවයේ එතෙක් තිබු 130 ගණනක් වන රාජ්‍ය සේවයේ වැටුප් තල, 34ක් දක්වා අඩුකිරීම හේතුවෙන් මෙවැනි ගැටලු පැන නැගුනු බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න, කෙසේ වෙතත් එලෙස වැටුප් තල අඩුකිරීම හොඳ ක්‍රියාවක් ලෙසයි හැඳින්වීය."ලක්ෂ 15ක රාජ්‍ය සේවයක් වැටුප් 30 ගණනකට ගේන්න අමාරුයි, ඒ නිසයි සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය සංවෘත්ත කරලා වෙනම සේවාවන් බවට පත්කරන්න කැබිනට් පත්‍රිකාවක් ගේන්න තීරණය වුනේ"

පසුගිය මැයි මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කොටු වී සිටි මගීන් මේලෙස සේවය සංවෘත්ත කිරීමෙන් දුම්රිය සේවයේ පඩි වැඩිවීම අනිකුත් සේවාවන්ට බලනොපාන බව පැවසූ අමාත්‍යවරයා දැනට අධිකරණ සේවාව එලෙස සංවෘත්ත කර ඇති සේවාවක් බව පෙන්වා දුනි.
"විනිසුරුවරුන්ට, නීතිපති දෙපාර්තමේන්තුවට පඩි වැඩි කලා කියල අනිත් අයට පඩි වැඩි කරන්න කියල ඉල්ලන්න බැහැ, ඒ ක්‍රමය අනිකුත් සේවාවන්වලටත් හඳුන්වා දෙන්න යනවා"
දුම්රිය සේවකයන්ගේ පඩි වැඩිකිරීමට රජය විරුද්ධ නොවන බව පැවසූ අමාත්‍යවරයා මෙලෙස සේවාව සංවෘත්ත කිරීමෙන් අනිකුත් සේවාවන්ට බලනොපාන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වැඩිවීම ලබාදිය හැකි බව කියා සිටියේය.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබියදී සේවයට වාර්තා නොකළ සේවකයන්ට කිසිදු රැකියා අහිමිවීමක් සිදු නොකිරීමට හා ඔවුන්ට විනයානුකූල පියවර නොගනිම්ට ද රජය තීරණය කළ බව අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර වර්ජනයට එක්වූ දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ ඔවුන් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන බවය.සතියකට ආසන්න කාලයක් සිය වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් දුම්රිය සේවකයන් මෙම වර්ජනය පැවැත්වූ අතර මේ හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයකට ලක්විය.