දෙසැම්බර් මස 20 සිකුරු මාරුව ඔබේ ලග්නයට

2017 දෙසැම්බර් මස 20 වැනි බුධ දින සවස 6.32ට ග්‍රහ මණ්ඩලයේ සිකුරු තමාට සම රාශි භවනක් වූ ධනු රාශියට පිවිසේ. සිකුරු කේතුට අයත් මුල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් වූ පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ද ගමන් කරමින් 2018 ජනවාරි 13 වැනි ශනි දින දක්වාම ගුරුට අයත් ධනු රාශියෙහි ගමන් කරනු ඇත.

සිකුරු ධනු රාශිගතවීමෙන් අප රටට එතරම් ශුභ ඵලයක් අත්නොවන අතර රට තුළ ව්‍යාජ පුවත් ප්‍රචලිත වන වකවානුවක් වේ. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහජනතාවගේ කළකිරීමක්, දෝෂාරෝපණයක් එල්ල වනු ඇත. ප්‍රසිද්ධ ලේඛකයකුට, ව්‍යාපාරිකයකුට හෝ සමාජ සේවකයකුට මාරකයක් ඇතිවනු ඇත. මෙම වකවානුව තුළ පවුල් ආරවුල් වැඩියෙන් සිදුවන අතර දික්කසාද වීම්ද ඉහළ යනු ඇත. ලෝ පුරා අශීලාචාර ක්‍රියාවන් ද, අවාසනාවන්ත සිදුවීම්ද, ස්ත්‍රීන්ට හා ළමුන්ට භයානක අපරාධ සිදුවීම් ද වාර්තා වනු ඇත.

මේෂ - කලාවට හොඳයි

ඔබගේ උත්සාහය මත කටයුතු රැසක් සාර්ථක කරගත හැකිවනු ඇත. යම් යම් වැඩවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. අන් අයට ප්‍රියවනු ඇත. කලා කටයුතුවල නිරතවන අයට යහපත් ඵල අත්වේ.

වෘෂභ - ඉඩමක් හෝ වාහනයක්

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් විරුද්ධතා ගෙනදෙනු ඇත. තැන්පත් ධනය යම් යම් හේතු මත වියදම් වී යනු ඇත. ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමට යහපත් වකවානුවකි.

මිථුන - මංගල යෝජනා

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. හවුල් කටයුතුවලින්ද ඵල ලැබෙනු ඇත.

කටක - සෙම් අමාරු

නෑදෑයන් පිළිබඳ ප්‍රශ්නයක් මතුවනු ඇත. ඔබගේ යම් යම් කටයුතු සඳහා විවිධ වූ පාර්ශවවලින් බාධා ඇතිකෙරේ. සේවා ස්ථානයේ තම මිතුරන් සමඟ බැඳීම වර්ධනය වනු ඇත. සෙම් ආශ්‍රිත ආබාධයක් මතුවේ.

සිංහ - ලිංගික ආකර්ශනය

ඔබට යහපත් වන අතර කලා හා නිර්මාණ කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වේ. හවුල් කටයුතුවලින්ද ඵල ලබන අතර විරුද්ධ ලිංගික ආකර්ශනය ඇතිවනු ඇත.

කන්‍යා - කටයුතු සාර්ථකයි

ඔබටත් ශුභ ඵල අත්වන අතර රථවාහන මිලදී ගැනීමට ද යහපත් වන්නාවූ කාලයකි. ඔබ ඔබගේ මතයට වැඩ කරමින් සාර්ථක පියවර රැසක් ගන්නාවූත් වකවානුවක් වේ.

තුලා - සහෝදර බැඳීම්

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල වර්ධනය වන අතර සහෝදරයන් අතර බැඳීම් වර්ධනය වනු ඇත. පවුලේ සමගිය ඇතිවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ද යහපත් වේ.

වෘශ්චික - ආර්ථික අපහසුතා

ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගිය හා බැඳීම් වර්ධනය වනු ඇත. අලුත් හිතමිතුරන් දැනහැඳින ගැනීමට හැකිවනු ඇත. ආර්ථික අපහසුතා ඇති වේ.

ධනු - පවුලේ යහපත

ඔබට යහපත් ඵල අත්වුවද විශාල අන්දමේ මුදල් යෙදවීම් කිරීමේදී කල්පනාකාරී විය යුතු වේ. හවුල් හා කලා කටයුතුවල නිරත අයට ද ශුභ ඵල ලැබේ. මෙතෙක් අඩපණව තිබූ වැඩ කටයුතු රාශියක් ඉටුකරගත හැකි වන්නාවූත් වකවානුවකි.

මකර - සේවා ස්ථානයේ ගැටලු

ඔබට එතරම් ශුභ ඵල අත්නොවනු ඇත. තම නිවසේ අලුත්වැඩියාවක් කරනු ඇත. යම් යම් කටයුතු විවිධ පාර්ශ්වවල විරුද්ධකම් නිසා මඟහැරී යනු ඇත. සේවා ස්ථානයේ ප්‍රශ්න ඇතිවනු ඇත.

කුම්භ - නිර්මාණශීලී අදහස්

අලුත් හිතමිතුරන් දැනහැඳින ගැනීමට අවකාශ ලැබෙනු ඇත. ව්‍යාපාරික/ දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. නව නිර්මාණශීලී අදහස් ඇතිවන අතර විරැද්ධ ලිංගික ආකර්ශනය ඇතිවනු ඇත.

මීන - දුර ගමන්

දුර ගමන්, විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. සේවා ස්ථානයේ අන් අය අතර බැඳීම වර්ධනය වේ. නව දේපලක් මිලදී ගැනීමට ද යහපත් වකවානුවක් වේ.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ජ්‍යොතිෂාචාර්ය,රේණුක වික්‍රමසිංහ,
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය,
ඔලබොඩුව, ගෝනපල.