අඹගෙඩි තුනක් කැඩූ වරද උසාවියට යයි

තනිවම නිවසක ජීවත්වන තමන්අඹ මාලුවක් කෑම සඳහා අසල නිවසක පාරට බර වූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩාගත් වරදටතමන් පොලීසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව බීමට වතුර පොදක් හෝ නොදීපැය 24 ක් පොලීසියේ සිර කර තැබූ බවට අනුරාධපුර පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් චෝදනා කරයි.

64 හැවිරිදි ඒ.ලලිතා නමැති එම කාන්තාව තමන්ට මුහුණදීමට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින්,

“පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා අඹ මාලුවක් කන්න හිතාගෙන. එම අවස්ථාවේදී එම නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී එළියට පැමිණිඑම ගෙදර නෝනා හා මහත්තයා පොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා.ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

උදේ 10.00 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් මගේ නිවසට පැමිණ, වත්තකට පැන අඹ ගෙඩි 19 ක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙන බවත්, එය විභාග කිරීම ස‍ඳහා පොලීසියට පැමිණෙන ලෙසත් දන්වා සිටියා. එය අසා මා පුදුමයට පත්වුණා. වැඩිපුර අඹ ගෙඩි 16 ක් දමා බොරු පැමිණිල්ලක් දාලා. සපා කන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට අසනීපයෙන් සිටින මා පැන සොරකම් කරන්නේ කොහොමද? එම පැමිණිල්ල අසා මා පුදුමයට පත් වුණා.

මම පහුවදා පොලීසියට ගිය පසු පැමිණිලිකාර කාන්තාවද පැමිණියා. අඹ ගෙඩි 03 ක් කඩාගත් වැරැද්ද මා බාරගන්නා බවත්, මෙය සමථයකට පත් කරදෙන්න යැයි මා පොලිසියෙන් මා ඉල්ලා සිටියා. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරුද්ධ වුණා. පසුව ඇය පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී කියා සිටියේ වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස එම නෝනලාගේ ගස්වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කරගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩූසිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කරගන්නා බවයි. පසුව මා එයට කැමති වුණා. පොලීසියෙන් කොළයක්ද දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කරගන්නා බවට ලියා අත්සන් කරන්න. ඒත් අවසානයේ එයටද එම නෝනා විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන්, මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා.

දහවල් 11.00 ට පමණ මා පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලීසියේ ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් පැමිණිල්ල විභාග කළ මහත්වරු තිදෙනා එය වැළැක්වූවා. පසුව මා බංකුවක් මත පැය ගණනාවක් වාඩි කර තැබුවා. පිරිමි සිරකරුවන් සිටි කූඩුව ළඟ බංකුවක තමයි මා වාඩි කර සිටියේ. පසුව රාත්‍රියේ සිරකූඩුවකට දමා අගුලු දැමුවා. එම සිරකූඩුවේ සිටියේ මා පමණයි. මගේ උගුර කට වේළිලා කැරකිල්ල වගෙත් ඇති වුණා. කෑම ගෙනත් දෙන්නවත්, මුත්‍රා කිරීමට එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ.

අපේ ගෙවල් ළඟ පොලීසියේ වැඩ කරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර,වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වී පොලීසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ගාස්තු ගෙවා මා උසාවියට ඉදිරිපත් කර තිබුණා. ලක්ෂයක ශරීර ඇපදීලා තමයි මා නිදහස් කර තිබුණේ. ගරු අධිකරණ තීන්දුවට මා හිස නමා ආචාර කරනවා.උසාවියට පැමිණෙන්නේ නැතිව මෙය පොලීසියෙන් විසඳාගන්න තිබුණා. කොතනක හරි වැරැද්දක් ඇති. සල්ලි තියෙන අයට එක නීතියකුත් සල්ලි නැති අපට එක නීතියකුත් තමයි පොලිසියෙන් සිදු කරන්නේ. මහත්තයා හා දරුවන් නොමැතිව තනිවම ජීවත්වන්නේ පොල් වත්තක් මුර කරමින්, මේ වනවිට මගේ එක් ඇසක් පෙනීම දුර්වලයි. අනෙක් ඇසට ළඟදි කාචයක් දැමුවා. විටින් විට පපුව අමාරුවද හැදෙනවා” යැයි පැවසීය.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මුලස්ථාන පොලිස්ථානාධිපති සංජීව මහානාම මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කලේපැමිණිල්ලක් සමථයකට පත් කරගැනීම ස‍ඳහා පැමිණිලි පාර්ශ්වය අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.
Related Posts Plugin for WordPress, Blogger...